පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 03 ට අවසර දීමට ආණ්ඩුව තීන්දුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශකයෙකු මාධ්‍ය අමතමින් ඔවුන්ගේ විරෝධය සනිටුහන් කරනු දින දෙක තුනකට කලින් අන්තර්ජාලයෙහි දුටුවෙමි. 

ඔවුන් නැවතත් විරෝධය සටහන් කරනුයේ වැරදි කාරණාවකට ය. ඔවුන් නැවත විරුද්ධ වන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටු වීමටය. විරුද්ධ විය යුත්තේ එයට නොවේ යැයි මීට අවුරුදු 06 ට පෙර 2017 දී මාස ගණනාවක්ම මම දිගින් දිගටම ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට තේරුම්කර දීමට උත්සාහ කළෙමි. 

.

 

මෙය මම නැවත කියමි. නිදහස් යැයි නොමිලේ අධ්‍යාපනයක් කන්නන්ගර ප්‍රතිසංස්කරණ වලින් ලබා දී නැත. එසේ කියන්නේ නොදන්නා බොරුවකි. අවශ්‍ය වන්නේ ගුණාත්මකව ඉහළ තත්ත්වයේ ජාතික අධ්‍යාපනයකි. එනිසා ආණ්ඩුවට බල කළ යුත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පමණක් නොව, රජයේ වෛද්‍ය පීඨ අනුමත කිරීමේදීද ඒවායේ ගුණාත්මක තත්ත්වය මැන බැලීමේ නිර්ණායක සකස් කිරීමටය. කුමන විෂයකට වූවත් උපාධිධාරීන් සූදානම් කිරීමේදී විශ්ව විද්‍යාලවල ආයතනික හා අධ්‍යයන කාර්යන් සතු ගුණාත්මක තත්ත්වයන් මැන බැලීමේ ප්‍රමිතියක් සඳහා ජාත්‍යන්තරව පිළිගනු ලබන නිර්ණායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රසිද්ධකර තිබිය යුතුය. 

 

විශ්ව විද්‍යාල පනතට අනුව එහි 03.3 වගන්තියට අනුව විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන තත්ත්ව නඩත්තු කිරීමේ වගකීම ප්‍රතිපාදන කොමිසමට පවරා ඇත. 

මා දන්නා තරමින් ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයට වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් අධ්‍යයන තත්ත්ව ඇගයුම් කිරීමේ වගකීම පැවරී ඇත. මේ රටේ සියලු වෛද්‍යවරුන් ලියාපදංචි කිරීමේ බලය ඔවුන් සතු හෙයින් වෛද්‍ය පීඨ නිරීක්ෂණය ඔවුන් සතුව තැබීම තාර්කික තීන්දුවකි.

bc5c1834b47f4a16a26da89ea51b0c06 Lමහාචාර්ය කාලෝ ෆොන්සේකා

එබැවින් ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ සභාපති වශයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා වගකීම් දැරූ සහ ඔහු ඉතා ප්‍රසිද්ධියේ “සයිටම් විරෝධය” කරට ගෙන තිබූ අවධියෙහි ඔවුන් රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සතු ගුණාත්මක තත්ත්ව සම්බන්ධයෙන් ආසන්න වසර කිහිපයේ කළ නියාමන හා ඇගයුම් වාර්තා මා වෛද්‍ය මණ්ඩලයේ ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලු විට, එයට නිල වශයෙන් පිළිතුරු නොලැබිණ. එනිසා දිනක් මා මහාචාර්ය කාලෝට කියුවේ අවම තරමින් රජරට විශ්ව විද්‍යාලයයේ හා එහි වෛද්‍ය පීඨයේ හෝ අධ්‍යයන හා ආයතනික ඇගයුමක් කර ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන මෙන්ය. ඔහු සිනහවී කියුවේ “ඇගයුමක් නොකළම යුතු තැන එතනයි” කියාය. 

මීට දසකයකට ආසන්න කාලයකට ඉහතින් උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශයට “විසි එක්වන සියවස සඳහා උසස් අධ්‍යාපනය” නමින් ලෝක බැංකුවෙන් ලැබුණු ව්‍යාපෘතිය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමද හවුල්කර ගනිමින් සැකසූ “ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනයන්හි ආයතනික විමර්ශනය සඳහා අත්පොත” නෛතික අවශ්‍යතාවක් නොවන හෙයින් එහි ඇත්තේද ආයතනික ප්‍රධානීන්ගේ කැමැත් අනුව කෙරෙන ඇගයීම් ය. එකී අත්පොත පදනම්ව විශ්ව විද්‍යාල කීයක ආයතනික විමර්ශන කෙරුණිදැයි විස්තර සොයා ගත නොහැකි විය. 

SAITM.jpg
ඒ කෙසේ වෙතත් මෙය පළමුව කියා සිටිය යුතුය. ගියවර සයිටම් විරෝධය පාරට ගෙනෙනු ලැබූයේ “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමට යැයි කියමින්ය. ඒ විරෝධයට රජයේ වෛද්‍ය නිලධාරීන් සමග විශ්ව විද්‍යාල ඇදුරන්ගේ සංවිධානද හවුල් විය. ඔවුන් “නිදහස් අධ්‍යාපනය” කියන්නේ “කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” වලට අනුව මේ පවතින අධ්‍යාපනය නොමිලේ ලැබෙන්නක් යැයි කියන්නාක් මෙනි. 

 

සයිටම් විරෝධය කර තියා ගත් කිසිවකු ඒ වනවිටත් කන්නන්ගර වාර්තාව කියවා නොතිබුණි. ඒ දිනවල සංවාද සඳහා මට ආරාධනා කළ විශ්ව විද්‍යාල දෙකකම, සංවාද සඳහා පැමිණ සිටි සහ සහභාගි වූ කිසිදු ආචාර්යවරයෙකු ආචාර්යවරියක කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියවා තිබුණේ නැත. “1943 සැසිවාර පත්‍ර අංක 24” කියවා තිබේදැයි මා එදා ඇසූ විට ඒ කුමක්දැයි ඔවුහු නොදත්හ. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාර්තාව යනු එය යැයි කියූ විට සැවොම අන්ද මන්ද වූහ.

 colc.w

සී.ඩබ්.ඩබ්. කන්නන්ගර 

 එය නොමිලේ අධ්‍යාපනය ගැන කතාවක් නොව, එය ජාතික අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ වැදගත් ප්‍රතිසංස්කරණ මාලාවකි. කන්නන්ගර නිර්දේශවල කොතැනකවත් පාසල් ගාස්තු අය කිරීම තහනම්කර නැත. ජාතික අධ්‍යාපනයට නතු කරගනු ලැබූ සියලු පෞද්ගලික පාසල් වලට පාසල් ගාස්තු අය කර ගැනීමේ අයිතිය පමණක් නොව, රජයේ පාසල් වලටද පහසුකම් ගාස්තු අය කර ගැනීමට එහි අවසර තිබිණ. දැන් එය පාසල් සංවර්ධන සමිතියේ සාමාජික මුදල් වශයෙන් ලොකු මුදල් අයකර ගැනීම දක්වාම දිගුවී ඇත.

 sipsala sri lanka free education

කන්නන්ගර ප්‍රතිසංස්කරණ විසින් අවධාරණය කෙරුණේ ඉහළ ගුණාත්මක තත්ත්වයේ ජාතික අධ්‍යාපනයක් මිස තත්ත්ව ප්‍රමිතියක් නොමැති නොමිලේ ලබා දෙන අධ්‍යාපනයක් නොවේ. එහෙත් උසස් අධ්‍යාපනය දක්වා ජාතික අධ්‍යාපනයෙහි කොතැනකවත් වැදගත් හා අනිවාර්ය තත්ත්ව ඇගයීමක් සඳහා නිර්ණායක හා යාන්ත්‍රණයක් නැත. 

දසක ගණනාවක ඒ හිඩැස පිරවීමේ ආරම්භයට පහසු වන්නේ අලුතින් විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සඳහා අවසර දීමට පෙර විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සියල්ල තත්ත්ව ඇගයුමකට ලක් කෙරෙන ප්‍රමිතීන් සඳහා නිර්ණායක ප්‍රසිද්ධ කරන මෙන් සහ එවැනි වාර්ෂික ඇගයීම් අනිවාර්ය කෙරෙන නීති සංශෝධන ඉල්ලා ආණ්ඩුවට බලකර සිටීමය. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පමණක් නොව, විශ්ව විද්‍යාල ඇදුරන්ටද අනධ්‍යන සේවා වෘත්තීය සමිති වලටද අන්තරේ සටන්කාමීන්ටද මා කියන්නේ “සියටම් විරෝධය” මෙන් කිසිවකුට යහපතක් නොවන, ජාතික අධ්‍යාපනයේ කොතැනකවත් නැති නොමිලේ අධ්‍යාපනයක් අඩේට තියා නොගෙන, සියල්ලන්ට යහපතක් වන අයුරු විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂික තත්ත්ව ඇගයුම් වෙනුවෙන් පිළිගත් නිර්ණායක ප්‍රසිද්ධ කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නට යැයි කියා ය.

බැරිකේඩ් සටන්කාමිත්වය හා මාධ්‍යවේදය - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 සැප්තැම්බර 12


සබැඳි ලිපි :

විශ්වවිද්‍යාලවලට ලබාදෙන පිළිගැනීම වෘත්තීය පුහුණු ආයතනවලටත් 

අධ්‍යාපනය ක්‍රමය වෙනස් විය යුතුයි - නාමල් රාජපක්ෂ 

නොමිලේ අධ්‍යාපනයේ ඇත්ත කතාව - (චන්දන ප්‍රසන්න)

නව ලෝකය වැළඳ ගැනීමට උපාධිධාරීන් සූදානම් කිරීම අවශ්‍යයි - ආචාර්ය හර්ෂ අතුරුපාන

ගමන ආරම්භ කළ යුත්තේ ඔබ විසින් ම ය...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉවරයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කෙරේ !

ප්‍රාථමික අධ්‍යාපනයේ අසාර්ථකත්වයට හේතුව ? - අධ්‍යාපන ඇමතිගේ අනාවරණයක් 

කෘත්‍රීම බුද්ධිය සමග ගැටෙන්නට සුදානම් වෙමු - අධ්‍යාපන ඇමති 

සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය : 'පිස්තෝලේ තිබ්බනම් වැඩේ වෙනවා'- දීප්ති කියයි (වීඩියෝ)

අධ්‍යාපනය කියන්නේ දැනුම වගේම කුසලතා වලත් එකතුවක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)




 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image