මම කියපු බොරුව හැමෝ ම පිළිගත්තා. කොහොමත් රැ දොළහට කිට්ටු වෙද්දි අපි අපේ සාජ්ජෙ ඉවර කරා.
අන්තිමට කොටුවෙ උමං දොරකඩ ගාවට එනකම් ම ඒ හතර දෙනා ම මාත් එක්ක ම ආවා. ඇවිත් අපි එකිනෙකාගෙන් වෙන් වෙන් කලිං ඒ හතර දෙනාම මගේ මුණ ඉම්ඹෙ තරඟෙට වගේ. මටත් දැනුණෙ සහෝදරාත්මක හැඟීමක් විතරයි. මං එතනින් පිටත් වෙන්න කලිං විනීතා කතා කරේ මම කිසිම විදියකින් නොහිතපු විදියට.
‘‘යසේ... අරෝවක් හිතේ තියාගන්නෙපා හොඳේ...’’
එහෙම කියපු විනීතා ආයෙත් මාව බදාගත්තා. මමත් යාන්තමට වගේ එයා බදාගන්න ගමන් ම... ‘‘මං මක්කටෙයි අක්කෙ අරෝ වෙන්නෙ... නේද ජෙසිකක්කෙ...?’’ කියල ඇහුවෙ විනීතාට පිටුපස්සෙ මගේ ඇස් ඉස්සරහ ඉන්න ජෙසිකා අක්කගෙ මූණ බලල හිනාවෙන ගමන්. මම එහෙම කිව්වෙ ඇයි කියල හරියට ම තේරුම් ගත්තු ජෙසිකා අක්කත් ‘‘ඒකනෙ බං මල්ලියෙ... මං උඹට කලිනුත් කියල තියෙනව නෙ... මේකිට ජංමයෙන්ම ආපු පුරුදු ටිකක් යහමින් තියෙනවා. අපි ඒව මායිං කොරන්න ගියොත් නං ඉතිං අපිට මේකිත් එක්ක හැම දොහේ ම ඉන්න වෙන්නෙ තරහින් තමයි.’’
ජෙසිකා අක්කා එහෙම කියන අතරතුර මගේ දිහා බලාගෙන ඇහැක් ගැහුවා. ඒ ඉඟියෙ හැංගිලා තිබුණ අදහස මොකක්ද කියල තේරුම් නොගන්න තරමට මම බබෙක් නෙවෙයි කියල ජෙසිකා අක්කා හොඳට ම දන්නවා.
‘‘නේ නේ... යෙසේ මල්ලි ඔව්වා ගනං ගන්නේ... නේද යෙසේ මල්ලි...’’
දී කිරිවලට කමලනී බැළලිය සාක්කි දුන්නෙ ඒ විදියට. මට ඒ වෙලාවෙ තේරුණේ හැමෝටම වගේ වුවමනා වෙලා තියෙන්නෙ ඉක්මනට එයාලගෙ ගෙවල්වලට යන්න කියල. හැබැයි විනීතා මේ දේවල් කියන්නෙ ඇත්තට ද බොරුවට ද කියල කියන්න අපිට වැටහීමක් නොතිබුනත් එයා හිටියෙ වෙච්ච වැරැදි ගැන කලකිරීමෙකින් වගේ කියල එයාගෙ හැසිරීමෙන් තේරුණා. එහෙම වුනත් ඒක හරියට ම හරි ද නැද්ද කියල දැනගන්න වෙන්නෙ ඉස්සරහට එයා වැඩ කරන පිළිවෙළ අනුව. ඒ නිසා මේ මොහොතට අනුව අපි වැඩ කරන්න වුවමනා එයා හරි වගේ කියන එක මට වගේ ම ජෙසිකා අක්කටත් තේරිලා තිබුණා. ඒක මට ලොකු හයියක් වුණා.
‘‘අපි පාලම ගාවට එන්නෙයි...?’’
මෙච්චර වෙලා වෙන දේවල් දිහා බලාගෙන හිටපු රමණි ඇහුවෙ සමච්චලයට වගේ.
‘‘අනේ ඕනි නෑ අක්කෙ. මං මේ ටික යන්නං. අත දිගඅරින දුරනෙ අක්කෙ.’’
ඊට පස්සෙ අපි වෙන්වෙලා ගියා. එයාල හතර දෙනාම ගියේ මාර්කට් එක ඉස්සරහට වැටෙන පැත්තට.
‘මට හිතෙන්නෙ මේ හතරදෙනා ම ඉන්නේ ඒ පැත්තෙ වෙන්නැති. කොහේ ද... මෙච්චර කාලයක් ඉඳලත් මම තාම එයාල ඉන්නෙ කොහෙද කියල අහලත් නෑ. එයාල මට කියලත් නෑ. වෙලාවක හෙමිහිට ඒ ගැනත් අහල බලන්න ඕන.’
මම ම මගේ සිතිවිලි නවත්ත ගත්තෙ පාර පනින්න දෙපැත්ත බලන අතරෙ.
* * *
ඊළගට තිබුණෙ ත්‍රාස ජනක මෙහෙයුම. හුඟක් වෙලාවට මේ මෙහෙයුමට මම තනියම සම්බන්ධ වෙනව අඩුයි. ඒකට හේතුව තමයි දැන් වැඩිපුර ම නවයයි තිහ පිචර් එකක් බලනවා නම් මායි සුසන්තයි දෙන්නම යන්නෙ එකට නිසා.
මම හිතාගෙන හිටියෙ සුසන්ත නිදි ඇති කියල. ඒ නිසා පුළුවන් තරම් සද්ද බද්ද අඩු කරල තමයි දෙවෙනි තට්ටුවෙ ඉඳල පහළ තට්ටුවට බැස්සෙ. ඒත් මගේ පරිස්සමින් වැඩක් නෑ කියල තේරුණේ මම පඩිපෙළ නැගල උඩට යද්දි ම නිදාගෙන හිටපු සුසන්ත එක පාරට ම අහපු දේ නිසා.
‘‘අම්මෝ... ඇති යංතං... මං හිතාන උන්නෙ ඔහේ අද අරුං කාගෙ හරි ගුබ්බෑයමක රිංගයි කියල.’’
රෑ, අඩ අඳුරෙ වගේ ම රහස් හඬින් වුනත් සුසන්ත ‘ගුබ්බෑයම’ කියන වචනෙ කිව්වෙ සමච්චල් විදියට. ඒකෙන් මම තේරුම් ගත්ත දේ තමයි සුසුන්ත වුනත් තවම මායි ඒ අක්කල හතර දෙනයි අතරෙ තියෙන සම්බන්ධය හරියට ම තේරුම් අරගෙන නැහැ කියන එක. මට ඒක වෙනස් කරන්න එහෙම ලොකු වුවමනාවක් තිබුනෙත් නෑ. ඒ නිසාම තමයි මම ‘‘ජෙසික අක්ක කතා කරා නං තමයි එහෙ යමු කියල. මං බොරුවක් කියල ආව.’’ කියල කිව්වෙ.
සමහර විට මම එහෙම කිව්වම සුසන්තගෙ හිත රිදුන ද දන්නෙත් නෑ. එයා අනික් පැත්තට හැරිල නිදාගත්ත. මම හිතුවෙ පාටියෙ විස්තර අහයි කියල. ඇත්ත ම කියනවා නම් ඒ විස්තර අහපු නැති එක ම තමයි හොඳ.
* * *
සුසන්ත
ඇත්ත... මමත් හිතාගෙන උන්නෙ යසේ ආපු ගමන් පාටියෙ විස්තර අහනව කියල තමයි. ඒත් අනේ මම දන්නනෙ නෑ... යසේ ජෙසිකා අක්ක ගැන කියපු ගමන් මොනවත් ම අහන්න ඕනෙ නෑ කියල මම තිරණේ කළා. මොකද අපි දෙන්න අතරෙ මොන තරං කිට්ටු සම්බන්ධයක් තිබුණත් යසෙයි එවුන් හතර දෙනා අතරෙයි තියෙන සම්බන්ධෙ ගැන මං යසේගෙන් අහන එක හරි නෑ කියල මට හිතුණා. මොකද එහෙම ගෑනු එක්ක යාළුකමක් තියෙනව කියන්නෙ ම කවුරුවත් විශ්වාස නොකරන එකක් නෙ. හැබැයි කවුරු විශ්වාස කරත් නැතත් එහෙම යාළුකමක් තියෙනව නෙ. උං ටික හරියට යසේ ආස්සරේ කරන්නෙ අක්කල හතර දෙනෙක් මල්ලි කෙනෙක් ආස්සරේ කරනව වගේ. යසෙත් ඒ වගේ. කවදාවත් මා එක්ක වුනත් එවුන් ගැන නරකක් කියල නෑ. එවුන්ගෙ රස්සාව ගැන නරකක් කියලත් නෑ.
* * *
ඒ දවසෙ ඉඳං අද වෙනකොට තව මාස හතර පහක් ම ගතවෙලා. යසේට ආයෙ කුස්සියෙ වැඩ ලැබුණෙ ම නෑ. ඒ නිසා මටයි යසේටයි කතා කරන්න හරි ඉඩක් ලැබුණෙ රෑට වැඩ ඉවර වුණාට පස්සෙ. පිචර් බලන්න යන වැඩේ නම් දිගටම කෙරුණා. හෝල් තුනට මාරුවෙන් මාරුවට අලුත් පිචර් වගේ ම පරණ පිචරුත් දැම්මා. ඒ නිසා අපි කොහොමටත් අඩුම ගානෙ මාසෙකට පිචර් දෙකක්වත් බලනවා. සමහර පිචර් කිප සැරයක් ම බලනවා. එහෙම බලලත් ඇති නොවෙච්ච පිචරුත් තිබුණා. අපි පිචර් බලන්න යන හැම දවසක ම ශිවාජි මගේ වැඩ කොටස කළා. හැබැයි එදා විශේෂ දවසක් වෙයි කියල මට හිතුණෙ ම නෑ.
එදා අපි දෙන්න නමයයි තිහ බැලුවෙ The arena කියන ඉංග්‍රිසි පිචර් එක. ඒ පිචර් එක පැය එකහමාරකින් ඉවරයි. සිංහල පිචර් එකක් බලල එද්දි එකොළහමාර දොළහ විතර වෙනවනෙ. සාමාන්‍ය යෙන් සිඩ්නි බාර් එක වහන්නෙ රෑ එකොළහට. එදා අපි එතනට එද්දි එකොළහයි කාලට විතර ඇති. ඒත් සිඩ්නි බාර් එක ඇරල තිබුණා. බාර් එක වහන වෙලාව වෙනකම් කොල්ලෙක් එතන කඩල විකුණනව අපි දැකල තිබුණ. ඒ වුනාට අපිට මිනිහගෙන් කඩල අරගෙන කන්න හිතුණෙත් නෑ වෙලාවක් තිබුණෙත් නෑ. හැබැයි එදා යසේ අලුත් යෝජනාවක් කෙරුව.
‘‘සුසා... අපි කඩල ගොට්ටක් කමු...’’
ඒ යෝජනාවට අකමැති වෙන්න හරි... විරුද්දධ වෙන්න හරි විශේෂ වුවමනාවක් මට තිබුණෙ නෑ. ඒ නිසා මම ‘‘හා’’ කිව්ව. එක කඩල ගොට්ටක් අපිට දීපු කඩලකාරයා දෙවෙනි ගොට්ට දෙන්න ටිකක් පරක්කු කරන ගමන් ම ‘‘මේ මල්ලි මට දෙකල පුරුදුයි වගේ...’’ කියල කියපු විදියෙන් ම එයා දෙමළ කෙනෙක් කියල අපි දෙන්න ම දැනගත්තා. හැබැයි මම කිසිම දෙයක් නොකිය යසේ මගේ අතට දීපු කඩල ගොට්ට රස බලන්න සූදානම් වුණා. හැබැයි යසේ කදේට පැටළලුණා.
පෙරුමාල් හෙවත් කඩලකරුවා
මම මේ කොල්ලව දැකල පුරුදුයි කියල කිව්වට මගේ උත්තරය ලැබෙනකම්ම ‘මම අසවලා’ කියල හඳුන්වල දෙන්න එයා ඉදිරිපත් වුණේ නෑ. ඒ වෙනුවට මිනිහ කරේ ලස්සනට හිනාවුණ එක විතරයි. ඒත් ගනුදෙනුව ඉවර කරල කොල්ලව අත ඇරල දාන්න මට හිතුණෙ නෑ.
‘‘මල්ලිල බාරෙකේ ඉඳන් නෙවෙයි නේද ආවෙ...?’’
මිනිහ කතාවට අල්ලා ගන්න වුවමනා නිසා ම තමයි මම එහෙම ඇහුවෙ.
‘‘අපෝ නෑ අයියෙ...’’
කොල්ල උත්තර දුන්නෙ එයා නොකරපු වැරැද්දක් ගැන ලොකු චෝදනාවක් ඉදිරිපත් කරාම ඒ චෝදනාවට එයා වැරැදිකාරය නෙවෙයි කියනවා වගේ හැඟීමකින්.
‘‘එහුවට තරා වෙන්ඩෙපා... කොයි ද මේ රේ යාළුවත් එක්ක...?’’
මම එහෙම ඇහුවෙ කොල්ලගෙන් වුනාට ඒකට උත්තර දුන්නෙ කොල්ලගෙ යාළුවා.
‘‘අපි අයියෙ පිචර් එක බලන්න ගියා.’’
‘‘පිචර් එක...! කොයි පිචර් එක ද දෙන්නත් එක්ක බැලුවා...?’’
ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ කොල්ලා.
‘‘සරසවියෙ තියෙන්නෙ... ඉංග්ලිස් පිචර් එක... මේ... එරීනා... ඔවු එරීනා...’’
‘‘ආ... එරීනා... ෂරි ෂරි... ඔය පිචර් එක මීට අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලත් දෙම්මා. මං ඒ දවස්වල තමයි බැලුවා.’’
‘‘ආ... වෙන්න ඇති. හෝල් එකේදිත් සමහර අය කතා උණා...’’
ඒකට උත්තර දුන්නෙත් යාළුවා.
‘‘ඉතිං... මල්ලිලා කිව්වෙ නේනේ කොයිද ඉන්නෙ කියලා. මල්ලිලා මෙහේ නෙවෙයිනේ...’’
‘‘නෑ අයියා... මං වැලිගම... මේ මගේ යාළුවා සුසන්ත... එයා කඹුරුපිටියෙ...’’
ඒ වචනවල තිබුණෙ අව්‍යාජ බවක්. ඒ අව්‍යාජ වචන කියපු මේ කොල්ලත් අව්‍යාජ ඇති කියල මට හිතුණා. මගේ ඒ අදහස වැරදුණේ නෑ. ඒ මොහොත ඉඳන් බාර් එක වහල ඔක්කොම කට්ටිය යනකම්ම මගේ බිස්නස් එක කරන අතරෙ ම දෙන්නම මාත් එක්ක කදේ දාගෙන හිටියා. අන්තිමේදි මම කරත්තෙ අස්කරලා ඉවර වෙනතුරු ම ඒ දෙන්නත් මාත් එක්කම හිටියෙ හරියට අවුරුදු ගාණක ඉඳන් අඳුරන දෙන්නෙක් වගේ. පස්සෙ මමත් එයාලත් එක්ක ම හැවුලොක් හෝටලේ ගාවට ම ආවා.
'‘හරි මල්ලිලා... ඒ නං මං යන්නං... බාර් එක ඇරපු හෙමදාක ම හවෂ අයෙන් පස්සෙ මං එතන... මල්ලිලා ඕනෙ වෙලාවක එන්න ෂරි...’’
* * *
සුසන්ත
මිනිහගෙ නම පෙරුමාල්. ගම නුවරඑළියෙ. මං හිතන්නෙ මටත් වැඩිය අවුරුදු තුන හතරක් වැඩිමල්. අඩුම ගානෙ අවුරුදු විසි තුනක් විසි හතරක් විතර වෙනව ඇති. ගාල්ලට ඇවිත් දැන් අවුරුදු පහක් විතර වෙනව කිව්ව. දැනට නැවතිලා ඉන්නෙ වක්වැල්ල පාරෙ කියලත් කිව්ව. එදා අහම්බෙන් වගේ කඩල කන්න ගිහින් අඳුර ගත්තු මේ මනුස්සයා නිසා සිදු වෙච්ච දේවල් හරියට පිචර් එකක් වගේ. මේ සමහර සිද්ධි නම් යසේ කවදාවත් ඔයාලත් එක්ක කියන එකක් නෑ. ඒ ලැජ්ජාව නිසා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දුකට වෙන්නත් පුළුවන්. කොහොම වුනත් එදා පෙරුමාල් හමු නොවෙන්න අපි දෙන්නගෙ ම ඉරණම මීට වඩා හොඳ වෙන්න තිබුණ කියල තමයි මට නම් හිතෙන්නෙ. ඒ වුනාට ඒ සිදුවීම්වලට පෙරුමාල් විතරක් වගකියන්න ඕනෙ කියල නම් මම කියන්නෙ නෑ.
පෙරුමාල් හෙවත් කඩලකරුවා
නෑ... මමත් ඒ දේවල්වලට වගකියන්න ඕනෙ. මොකද... යසේ මල්ලිට තුෂාරිව හඳුන්වලා දුන්නෙ මම. මම තමයි යසේ මල්ලිව තුෂාරිලාගෙ ගෙදරට එක්කරගෙන ගියේ. ඒත්... මං හිතුවෙ නෑ තුෂාරියි යසෙයි අතර සම්බන්ධයක් ඇති වෙයි කියල. ඒ සම්බන්ධෙ නිසා යසේ මල්ලි මේ තරම් අමාරුවක වැටෙයි කියල. මොකද මම ඒ වෙද්දි තුෂාරිලගෙ ගෙදර කාමරේ නතර වෙලා අවුරුදු තුනකටත් වැඩියි. ඇත්තට ම මට ඒ ගෙදර මගේ ගෙදර වගේ. නැවතිලා හිටිය විතරක් නෙවෙයි... මගේ බිස්නස් එකේ වැඩ ටික කරගත්තෙත් එහේ ඉඳගෙන ම යි.
එදා රෑ යසෙයි මමයි සුසන්තයි මුණ ගැහුණට පස්සෙ මම දවල්ට ටවුමට ආපු වෙලාවට හැව්ලොක් හෝටලේට ගිහින් යසේ හම්බ වෙලා ඔය ආ ගිය තොරතුරු ටිකක් කතා කරන එක පුරුද්දක් වුණා. ඔය අතරෙ තමයි මම දවසක් යසේට යෝජනා කරේ මගේ කාමරේට යමු කියල. යසෙත් කැමති වුණා.
එදා බාර් එක වහපු දවසක්. යසෙයි මායි කලින් දවසෙ කතා කරගත්ත විදියට එයා හතරට ඕෆ් වෙලා මාත් එක්ක ම මං නැවතිලා ඉන්න කාමරයට ආවා.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/03/29
අපලෝකන - පසුගිය කොටස්