පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහට ලක්වුණ නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම සහ නීති වෘත්තිය ගුණාත්මක බවට පත් කිරීම උදෙසා සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව විසින් සකස් කොට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමට ලක් කොට පාර්ලිමේන්තුවේදී අහෝසි කළ අංක 2208/13 ගැසට් පත්‍රය සම්බන්ධයෙන්  විවිධ අදහස් පළ වෙනවා.



ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති නීතිඥ ආචාර්ය අතුල පතිනායක සමඟ සමාජ ක්‍රියාකාරිනියක මෙන්ම නීති ශිෂ්‍යයාවක ද වන භාග්‍යා වීරකෝන් විසින් තම YouTube නාලිකාව ඔස්සේ මේ සම්බන්ධයෙන් සංවාද කොට තිබුණා.


භාග්‍යා :
අපි මේ සංවාදයට මුලපුරමු ඔබේ පාසල්කාලය කොහොමද ගෙවුණේ කියලා

අතුල පතිනායක:
මුලින්ම කියනවා නම් මගේ තාත්තා ගාල්ලේ යටලමත්ත කියන ප්‍රදේශයේ උපත ලබපු කෙනෙක්. අම්මා බණ්ඩාරගම. මම ඉපදුණේ කොළඹ. ඉතාම සුළු කාලයක් කොළඹ අනාන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ මම මගේ සම්පූර්ණ අධ්‍යාපනය ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ. එහිදී මම අධ්‍යාපනයට වගේම බාහිර ක්‍රීඩා කටයුතු, සංගම්වල කටයුතු ආදිය කළා. ඉන් පසුව මම නීති විද්‍යාල ප්‍රවේශයට පෙනී ඉඳලා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වුනේ 1982දීයි.

ඒ කාලයේ මම නීති විද්‍යාලයේ බාහිර වැඩ කටයුතුවලට සම්බන්ධව වැඩකළා. එහිදීත් ක්‍රිකට්, ටෙනිස්, බැඩ්මින්ටන් ආදී ක්‍රීඩාවල නියැළුණා. ඒ කාලය හරිම සුන්දර කාලයක්. ඒ කාලයේදී මම ඉකාම හොඳින් අධ්‍යාපන කටයුතු සිදු කළා. ඉතාම ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඒ බාහිර කටයුතු එක්ක මම නීති විද්‍යාලයේ හිටපු අවුරුදු 3ම පළමු පන්තියේ සාමාර්ථ්‍යයන් ලැබුවා. අපේ අවුරුද්දේ මාත් එක්ක තවත් එක් අයෙක්ට පමණයි ඒ සාමාර්ථ්‍යයන් ලබන්න හැකි වුණේ.  

නීති විද්‍යාලයෙන් පිටවුණාට පස්සේ මම කෙටි කාලයක් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මහත්මයා යටතේ වැඩ කළා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 10කට ආසන්න කාලයක් වැඩ කළා. ඉන් පසුවයි මම ඔස්ට්‍රේලියාවට යන්නේ. මට හරිම ආසාවක් තිබුණා ඉගෙන ගන්න. මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ MBA උපාධිය අවසන් කරලා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳව පශ්චාත් උපාධියත්, වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව පිළිබඳව පශ්චාත් උපාධියත් ලබා ගත්තා. අවසානයෙදි මගේ ආචාර්ය උපාධිය මම ලබා ගත්තේ ඩීකින් විශ්ව විද්‍යාලයෙන්.

ඉන් පස්සේ අවුරුදු 26ක් විතර මම වැඩ කළා ඩීකින් විශ්ව විද්‍යාලයේ. ඉතින් මට හිතුණා දැන් මම හිටියා ඇති මම ලංකාවට එන්න ඕනේ කියලා. ඉතින් මම තවත් කාලයක් වැඩ කරන්න හැකියාව තිබියදී මම ඒ රැකියාවෙන් ඉවත් වෙලා තමයි ලංකාවට ආවේ.



භාග්‍යා :
කොහොමද ඔස්ට්‍රේලියාවේ ජීවිතය ගෙවුණේ? මොනවද ඔබ එහිදී කළේ?


අතුල පතිනායක:
මම ඩීකින් විශ්ව විද්‍යාලයේ ඉන්නකොට ආරම්භ කළා Center of the Legal Profession කියන ආයතනය. ඒ තුළින් අපි අවුරුදු 65ට පස්සේ පළමු වතාවට ලංකාවේ රාජ්‍ය නායකයෙක් ඔස්ට්‍රේලියාවට ගෙන්වන්න වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරින් ගෙන්වාගෙන පුහුණු කරන්නත් හැකියාව ලැබුණා. ඒ වගේම අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගෙන්වාගෙන වැඩමුළු පවත්වන්නත් මට හැකියාව ලැබුණා.

ඒ වගේම මම කරපු ලොකුම දෙයක් තමයි පළවෙනි වතාවට ඔස්ට්‍රේලියාවේ Law Clinic එකක් විශ්ව විද්‍යාලයක් තුළ පටන් ගැනීම. එහිදී සැබෑ සේවාදායකයෝ ගෙන්වලා ළමයින්ට කොහොමද  සේවාදායකයෙක් එක්ක කටයුතු කරන්නෙ කියන එක ගැන පුහුණුව දුන්නා. දැන් ඒක අනෙක් විශ්ව විද්‍යාලවල පවා පැතිරිලා තියෙනවා.


භාග්‍යා :
ඔබ සමඟ සංවාදයට කළීන් අපි තොරතුරු හොයලා බලාගෙන යද්දි මට දැනගන්න ලැබුණ සුවිශේෂී දෙයක් තමයි ඔබ මේ යන යන තැන නීති අධ්‍යාපනයේ Quality  එක ගැන සැළැකිලිමත් වෙන එක. ඇයි ඒ ගැන මේ තරම් සැළකිලිමත් වෙන්නේ? මොකක් හරි හේතුවක් තියෙනවාද?


අතුල පතිනායක:
මම නීතිඥයෙක්. මම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත්වෙලා තිබෙන්නේ. ඒ වගේම මම පුද්ගලික නීතිඥයෙක් විදියට මෙහෙ උසාවි වල වැඩ කිරීමට අදහසක් නැහැ. මගේ ජීවිතේ වැඩි කාලයක් වැය කළේ නීති අධ්‍යාපනය වෙනුවෙන්. දැන් ලංකාව වගේ රටක් දිහා බැලුවම අපි කොයිබටද යා යුත්තේ කියන එක ගැන මට හැම වෙලේම හිතෙන එකක්. සමහර අහන දකින ‍දේවල් දැක්කම අපි ඉන්නෙ කොයි තැනද කියන එක ප්‍රශ්නයක්. ඉතින් මට කරන්න පුළුවන් මම දැකපු දේවල් හා ලබපු අත්දැකීම්වලින් නීති අධ්‍යාපනය දියුණු කරන්න පුළුවන් නම් 100%ක් නෙවෙයි.. අඩුම ගානේ 30%ක් හරි යම්කිසි ප්‍රමණෙයකට ඒක කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා.



නීති අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ ඇත්තටම උනේ මොකද්ද ?

භාග්‍යා :
වර්තමානයේ ඔබ නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා. පසුගිය කාලේ නීති ක්ෂේත්‍රයට අතිශය වැදගත් ගැසට් පත්‍රයක් පරාජයට පත්වෙනවා. මේ සම්බන්ධයෙන් සමාජය, නීතිඥ ප්‍රජාව වගේම නීති අධ්‍යාපන ආයතන පවා දෙකට බෙදෙනවා. නීති විද්‍යාලයේ විදුහල්පති විදියට මේ සම්බන්ධයෙන් ඔබ දරණ අදහස මොකක්ද?


අතුල පතිනායක:

 

මම හිතන්නෙ මේකෙදි මත කිහිපයක්, අනිවාර්යයෙන්ම යමක් සම්බන්ධයෙන් පුද්ගලයො එක මතයකම ඉන්නවාය කියන එක අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි මේ ගැසට් නිවේදනය එකපාරටම ආපු එකක් නෙවෙයි. 2012 ඉඳලා මේ ගැන කතිකාවක් තිබුණා. ඊට පස්සේ 2017 Bar Association එක මූලිකත්වයෙන් මේක නීති අධ්‍යාපනය කොයිබටද යා යුත්තේ කියන කතිකාව පටන් ගත්තා. ඒකෙදි එක පාර්ශ්වයක් පමණක් නෙවෙයි නීතිඥවරුන්, විනිසුරුතුමන්ලා, විශ්ව විද්‍යාල, විශ්ව විද්‍යාල ආචාර්යවරු වගේම බාහිර අය පවා ගෙන්වලා අවුරුදු කිහිපයක් කතිකාවතක යෙදිලා මොකක්ද මේ නීති අධ්‍යාපනය කොයිබටද යන්න ඕනෙ කියන Future of Legal Studies කියන වාර්තාව සකස් කරනවා. ඒකෙදි කීප දෙනෙක් දේශපාලන වශයෙනුත් විවිධ මත දරපු අය සහභාගී වෙලා තමයි මේ අවසාන වාර්තාව හැදුවේ. ඒකෙ ප්‍රතිඵලයක් තමයි 2020 දෙසැම්බර් මාසේ මේ ගැසට් එක එළියට දැමිම.

 

ඒක බලපැවැත්වුණේ 2021 ජනවාරි ඉඳලා. කවුරු හරි කියනවා නම් මේක එකපාරටම ආපු ගැසට් එකක් කියලා ඒක කරුණු නොදැන කරන කතාවක් විය යුතුයි. හැබැයි 2020 ගැසට් එක ආවත් ඒක බලපවත්වන්න පටන් ගත්තේ 2021 ජනවාරි ඉඳලා.

 Ali Sabry copy

භාග්‍යා :
හිටපු අධීකරණ ඇමති අලි සබ්‍රි මගේ මතකය නිවැරදි නම් 2022 ඔක්තෝබර් 19 වෙනිදා පාර්ලිමේන්තු විවාදයකදී කියනවා වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන්න පුළුවන් නම් ඇයි නීතිඥවරුන්ට ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න බැරි කියලා. හැබැයි මේ වෘත්තීන් දෙක නීති වෘත්තිය එක්ක සසඳන්න පුළුවන්ද?


අතුල පතිනායක :
නැහැ. ඔබ කිව්ව වගේ මේ වෘත්තීන් අතර සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. දැන් වෘත්තින් අතර ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යාව සමාන නැහැ. නමුත් ඒ අයත් කරන්නෙ ඉංග්‍රීසියෙන්. ඉංජිනේරු වෘත්තිය හා හෙද වෘත්තිය අතර සබඳතාවක් නැහැ. කළමනාකරණය හා වෛද්‍ය වෘත්තිය අතර සම්බන්ධයකුත් නෑ. මේක සම්පූර්ණයෙන් ම වෘත්තීය සුදුසුකමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා හැම ළමයෙකුටම තමන්ගේ භාෂාවෙන් ඉගෙන ගැනීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම ඒකෙ ව්‍යතිරේකයක් තියෙනවා. උසස් අධ්‍යාපන ආයතනයකට මේ වගන්තිය බලපාන්නේ නැහැ කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙන්නේ වෘත්තිකයන් විදියට එළියට එන අයට වෙන බසකින් ඒ ආයතනයට අවශ්‍ය පරිදි කටයුතු කරන්න ඉඩ සැළසීම. දැන් වෛද්‍ය, ඉංජිනේරු, හෙද වෘත්තීන් වලට අමතරව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පවා ශ්ලෝක හැර අනිත් සියල්ල උගන්වන්නේ ඉංග්‍රීසියෙන්.

ඉතින් මේ නීති වෘත්තිය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ නීති විද්‍යාලයෙන් මේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වලා එළියට යවන්න. අපේ රටේ තියෙන්නේ රෝම ලන්දේසි නීතිය සහ ඉංග්‍රීසි නීතිය. අපේ පොත් ලියලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. NLR තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ළමයින්ට අපි Assignment එකක් හෝ Research එකක් කරන්න දෙනවා නම් ඒ ළමයින්ට තොරතුරු හොයා ගත යුතු තැන් නැහැ මේ රටේ.

මම දැක්කා සමහර කට්ටිය කියලා තියෙනවා ග්‍රීසියේ ඩෙන්මාර්කයේ ඉතාලියේ ඒ රටවල භාෂාවෙන් කරන්නෙ කියලා. ඔව් ඒ රටේ ඒ රටට අදාළ නීතිය තියෙන නිසායි ඒ අය ඒක කරන්නෙ. ඒ රටවල්වල පොත්, ග්‍රන්ථ තියෙනවා ඒ රටට අදාළ නීතියෙන්. ඉන්දියාව ඉතාම සීඝ්‍රයෙන් ඉංග්‍රීසියට හැරෙමින් ඉන්නවා. ඉන්දියාව තුළ හොඳයි කියන විශ්ව විද්‍යාල ඔක්කොම වගේ කරන්නේ ඉංග්‍රීසියෙන්. ඇයි අපට බැරි?

 

මේකෙන් අපි ළමයෙක්ට කිසිම විදියකින් කොන් කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම පැහැදිලිව කිව්වා මේ විභාගය ඉංග්‍රීසියෙන් කිරීම තුළ ළමයගේ ඉංග්‍රීසි දැනුම පරික්ෂා කිරීමක් නෙවෙයි තියෙන්නේ. ඒ ළමයට යම් විදියකින් තමන්ගේ දැනුම ප්‍රකාශයට පත්කරන්න හැකියාව තියෙනවා නම් ඒක තමයි ප්‍රමාණවත් වෙන්නේ. නීති විද්‍යාලය මේක කරන්නේ පළමු වසරේ විෂයන් 8න් 3ක් විතරයි. ඒකෙනුත් පහසුවෙන් කරන්න පුළුවන් විෂයන්. දෙවැනි අවුරුද්දේ විෂයන් 5යි. අවසාන අවුරුද්දේ සම්පූර්ණයෙන් ම.

 

මේ පාර නිකුත් වුණ ප්‍රතිඵල අනුව කිසිම වෙනසක් නැහැ ළමයි ඉංග්‍රීසියෙන් කළා කියලා අසමත් වුණ පිරිස වැඩි වෙලා නැහැ. අනෙක තමයි ළමයින්ට ඉංග්‍රීයෙන් කිරීමේ වාසිය මොකක්ද කියලා ඇහුවොත් මට කියන්න පුළුවන් මම හොඳ උදාහරණයකට ගන්න. මම ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ඇවිල්ලා මට තියෙන උනන්දුව නිසා මම කොහොම හරි පිටරට විශ්ව විද්‍යාලයකට ලියලා මම කොහොම හරි ගියා. මම අති දක්ෂ ළමයෙක් නොවෙන්න පුළුවන්. හැබැයි සිංහලෙන් ඉගෙන ගන්න ගම්වලින් එන ළමයි ඉන්නවා ඉතාම දක්ෂ ළමයි. නමුත් ඒ අයට නැහැ ඉදිරියට යන්න අවශ්‍යතාවය. ඒ ළමයි කොන්වීමක් වෙන්නේ.  ඒක මම නම් දකින්නේ හරිම අසාධාරණයක්, පවක් කියලා. ඒ දැනුම අපි ලබා ගන්නේ නැත්තේ ඇයි ඒ ළමයින්ගෙන්.  


භාග්‍යා :
ඔබ කතා කරන්නේ එක පැත්තක් ගැන විතරයි කියලා මට හිතෙනවා. ඈත පිටිසර ගම්වල ළමයි මේ උපාධියට එන්නෙම ඉංග්‍රීසියෙන් උපරිමාධිකරණවල වැඩ කරන්න විතරක් නෙවෙයි. ඔවුන් තමන්ගේ නියමිත කාලය අවසන් වුණාම ගමට ගිහිල්ලා ගමේ තමන්ගෙ අධිකරණ කටයුතු කරන්න බලාපොරොත්තු වන අතිශය බහුතරයක් ඉන්නවා. ඒ වගේම පහළ අධිකරණවල අධිකරණ භාෂාව රාජ්‍ය භාෂාවන් දෙක පමණයි. මෙහෙම පසුබිමක අධ්‍යාපනයේ අයිතිය භාෂාවකින් සීමා කිරීම හරි කියලා ඔබ හිතනවාද?


 අතුල පතිනායක :
මම ඒකට මෙහෙම උත්තර දෙන්නම්. අපි හිතමු ගමකින් ළමයෙක් එනවා කියලා. ඔය ගමකින් ම තමයි ළමයෙක් හෙද වෘත්තියටත් එන්නෙ. වෛද්‍ය විද්‍යාලයට එන්නේ. බහුතරය එන්නෙ ගම්වලින්. ඒ අය කිසිම විරුද්ධතාවක් දක්වන්නේ නැහැ. හැබැයි ඔය කියන ප්‍රශ්නය අනුව ගමකට ගිහිල්ලා එක ළමයෙක්ට භාෂාව නිසා උසාවිවල පෙනී ඉන්න බැහැ කියලා මම හිතන්නේ නැහැ ඒ කතාවේ කිසිම පදනමක් තියෙනවා කියලා. ඒ ළමයට ඉංග්‍රීසියෙන් විභාගය කළා කියලා ගමට ගිහිල්ලා සිංහලෙන් නඩුවක් කරන්න බැරි වෙන්නේ නැහැ. එතන මොකක්ද තියෙන බාධාව? ඒ ළමයට හැකියාවක් ලැබෙනවා ඉහළට යන්න ඕනෙ නම් ඉංල්‍රීසි පදනම් කරගෙන ඉහළට යන්න පුළුවන් වෙනවා. නැත්නම් ගම්වල වැඩියෙන්ම තියෙන්නේ මොන නඩුද කියලා බලන්න. ඇයි ඒ නඩුම කතා කර කර ඉන්න ඕනෙ? ඇයි ඒ ළමයට ඉදිරියට යන්න යන්න බැරි?  

අපි මේකෙන් බලන්නේ සිංහලෙන් කළත් දෙමළෙන් කළත් හැමෝම එක තලයකට ගේන්න. මේකෙන් වෙන්නෙ කොට්ඨාසයක් කොන් කරන්න හදන්නේ? මේකෙන් වෙන්නේ එක කොටසක් වෙන් කිරීම මිස හැමෝම එකතු කිරීමක් නෙවෙයි. මම ඉගෙන ගත්තෙ සිංහලෙන්. මම ඒක පිළිගන්නවා.



භාග්‍යා :
ඔබ අත්සන් කරන්නෙත් සිංහලෙන් කියලා කතාවක් තියෙනවා.


අතුල පතිනායක :

ඔව් මම අත්සන් කරන්නෙ සිංහලෙන්. ඒක මම අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි. ඒක කාටවත් නවත්වන්නත් බෑ. මම ඒක ආඩම්බරයෙන් කරන එකක්. මට පුරුදු අත්සන අතුල පතිනායක කියලා මම ගහනවා.



භාග්‍යා :
මට මතකයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉංග්‍රීසි අධ්‍යාපනය ගමට ගෙනියන්න වැඩපිළිවෙලක් සකස් කරන්න හැදුවා. නමුත් ඒ කටයුත්ත අසාර්ථක වුණා. ගම සමඟ පිළිසදරක් වැඩසටහනේදි එක්තරා ඉංග්‍රීසි ගුරුවරියකගෙන් අහනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. ඇය බොහෝ අපහසුතාවට පත් වුණා. ඔබට හිතෙන්නේ නැද්ද මේ ඉංග්‍රීසි ප්‍රශ්නය විසඳන්න ඕනේ දීර්ඝකාලීන වැඩපිළිවෙලකට අනුව කියලා? මේක පාසල් අධ්‍යාපනය තුළ ඉංග්‍රීසි අධ්‍යාපන රටාව ශක්තිමත් නොකර කිරීම අපහසුයි කියලා?  ඒ වගේම සමහර ගම්වලට අන්තර්ජාල පහසුකම්වත් නැහැ. ඉංග්‍රීසි කියන්නේ භාවිතය තුළින් වැඩි  දියුණු වන භාෂාවක් මිස විභාගයට උත්තර ලිවීමකින් වැඩි දියුණු වෙන භාෂාවක් නෙවෙයි නේද?


අතුල පතිනායක :
මම ඒක පිළිගන්නවා. අපේ ඉලක්කය වෙන්නේ ඉංග්‍රීසි භෘෂාව නීති විද්‍යාලය තුළින් දියුණු කිරීම නෙවෙයි. ඒක ළමයෙක් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න පත්තරයකට පිළිතුරු ලිවීම මිසක් ඉංග්‍රීසිය ප්‍රගුණ කිරීමක් අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. හැබැයි අනිවාරෙන්ම ඒ ළමයගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු වෙනවා ඒ කරන ක්‍රියාවලිය තුළින්. ඒ එක්කම බලන්නේ අපේ අරමුණ වෙන්නේ සියලුම සිසුන්ට විවෘත විශ්ව විද්‍යාලය වේවා, කොළඹ විශ්ව විද්‍යාලය වේවා පේරාදෙනිය විශ්ව විද්‍යාලය වේවා සියලුම ළමයින්ට එකම තලයක ඉඳලා හැමෝටම එකම ආකාරයකින් සැළකීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

 

index 

 

අපි බලන්නේ නීති අධ්‍යාපනය හා නීති වෘත්තියේ උන්නතිය මිසක් වෙන කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒකෙදි හැමොන්ම එක භාෂාවකින් උත්තර ලියන එක අපි බලන්නේ. ඒකෙදි කිසිම ළමයෙකුගේ භාෂාව මත ඒ ළමයව අසමත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒක මේ පහුගිය කාලයේ නීති විද්‍යාල විභාග ප්‍රතිඵලවලින් හොඳින්ම පේනවා.

 

භාග්‍යා :
ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් නීති විද්‍යාලය තුළ ඉංග්‍රීසි බසින් විභාගයට ලිවීමේදී අදහස පමණක් තිබීම ප්‍රමාණවත්?


 අතුල පතිනායක :
හොඳටම ප්‍රමාණවත්. ඒක මම වගකීමෙන් කියනවා. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැතිව අපිට කියන්න පුළුවන්. හැබැයි පළවෙනි අවුරුද්දේ අමාරු වෙන්න පුළුවන්. නමුත් දෙවන හා තුන්වන වසර වෙනකොට ඒ ළමයාගේ ඉංග්‍රීසි දැනුම සම්පූර්ණයෙන් ම උසස් තත්වයකට එනවා. ඒකෙන් ඒ ළමයාට සිංහල අමතක වෙන්නේ නැහැ කවදාවත්.


භාග්‍යා :
හරි ඔබ විවෘත විශ්ව විද්‍යාලය ගැන සඳහන් කළා. 1978 / 16 දරණ විශ්ව විද්‍යාල පනතින් පිහිටවපු ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල අතර තිබෙන වෙනස් ම විදියෙ අධ්‍යාපන ක්‍රමය එක්ක යන තැනක් තමයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය කියලා කියන්නේ. “සියලු වැඩැහිටියන්ට අධ්‍යාපනය” කියන කරුණ තේමා කරගෙන  යන රාජ්‍ය විශ්ව විද්‍යාලයක්. විවෘතයේ මේ අරමුණම ගැසට් එක ඇතුළෙ තියෙන භාෂාව කියන කාරණාවෙදි අවසාන වසර විභාගය ඉංග්‍රීසියෙන් කිරීම තුළින් බිඳ වැටෙනවා නේද?



අතුල පතිනායක :
විවෘත විශ්ව විද්‍යාලයේ අරමුණ විභාගය සිංහලෙන් කිරීමද? නැහැ

එහෙනම්? සියලු වැඩිහිටියන්ට අධ්‍යාපනය ලබා දීම.

අපිත් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි අධ්‍යාපනය කියලා කියන්නේ භාෂාව නෙවෙයිනේ. අපි බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය ලබා දීම. විවෘත විශ්ව විද්‍යාලයට පමණක් නෙවෙයි කොළඹ, පේරාදෙනිය මේ හැම තැනටම එක තලයක මේක Professional Institute එකක්. අපිට වගකීම තියෙන්නේ කෝළඹින් ආවත් විවෘත විශ්ව විද්‍යාලෙන් ආවත්, කොතලාවත විශ්ව විද්‍යාලයෙන් ආවත් සමානව සළකලා නීති වෘත්තියට යැවීම පමණයි. එහිදී යම්කිසි විදියකින් විවෘත විශ්ව විද්‍යාලෙට හොඳ අරමුණක් තියෙන්න පුළුවන්

හැබැයි විවෘත විශ්ව විද්‍යාලයෙන් පිටවෙන සියලුම LLB ළමයි නීතිඥයන් වීමේ අරමුණක සිටීම වැරදියි. LLB ගත්ත ළමයි හැමෝම නීතිඥයෝ වෙන්න ඕනෙ නැහැ. වෙන්නෙත් නැතිව ඇති. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ එතනින් එනවා නම් යම් කිසි පුද්ගලයෙක් නීති විද්‍යාලයට.. නීති අධ්‍යාපන සභාවෙ ප්‍රතිපාදන අනුව ඒ ළමයා ඉදිරියට ගිහින් නීතිඥයෙක් වීමයි බලාපොරොත්තු වෙන්නෙ.

අපි කිසිම විදියකින් එක ආයතනටක් ඉලක්ක කරලා අපි කටයුතු කරලා නැහැ. නීති අධ්‍යාපන සභාව කියන ආයතනය ඉතාම සාධාරණව කටයුතු කරන ආයතනයක්. එතන ඉන්න සාමාජිකයන් බැලුවත් ලංකාවේ ඉන්න ඉහළම තලයේ රාජ්‍ය නිළධාරින් හා විනිශ්චයකරුවොනෙ ඉන්නේ.


භාග්‍යා :
විවෘත විශ්ව විද්‍යාලයට අවාසි සහගතවෙන ආකාරයට හැම වෙලාවකම විවිධ ව්‍යවස්ථාපිත වෙනස්කම් කවුන්සිලය විසින් නීති විද්‍යාලය තුළ සිදු කරන බවට කාලාන්තරයක් තිස්සෙ නැගෙන චෝදනාවක්. මේ විදියට ස්වාධීන පරිපාලනමය ආයතනයක් මත තවත් පරිපාලනමය අධිකාරියක් විසින් තීන්දු තීරණ ගන්න එක බලාතික්‍රමණයක් එහෙම නැතිනම් බලය අයුතු ලෙස යෙදවීමක් නෙවෙයිද?


අතුල පතිනායක :

 

මම පළවෙනි වතාවට ඇහුවේ නීති අධ්‍යාපන සභාව විවෘත විශ්ව විද්‍යාලයට හානිකර තීරණ ගන්නවා කියලා. ඒක පදනම් විරහිත චෝදනාවක්. නීති අධ්‍යාපන සභාව තීරණයක් ගන්නවා නම් ලන්නේ සමස්ත නීති ප්‍රජාවට බලපාන පිරිදියි. මම සමහර වෙලාවට විදුහල්පති කෙනෙක් විදියට ළමයි බහුතරයකගේ සුභසිද්ධිය සඳහා තීරණ ගන්න පුළුවන් හැබැයි අතළොස්සක් ඒකට අකමැති වෙන්න පුළුවන්.

 

මේ ගැසට් නිවේදනය පදනම් වුණේ විවෘත විශ්ව විද්‍යාලය අමතක කරලා නෙවෙයි. විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පවා මේකට දායක වුණා. ඔන්න සම්පූර්ණයෙන් ම ඔවුන්ව අයින් කළා නම් මේ චෝදනාව කරන්න තිබූණා. නමුත් මේ කතිකාව විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සිසුන් සහභාගී වූ එකක්. එතකොට එක කොටසකට විභාගය කරන්න අමාරු වීම මත ඒ අය කියනවා නම් විවෘතයට අසාධරණ විදියට සළකනවා කියලා ඒක මම හිතන්නේ තමන් ගැන හිතලා මිසක් බහුතරය ගැන හිතලා කරන චෝදනාවක් නෙවෙයි.

මගේ ආයතනයේ විභාග සම්බන්ධයෙන් කටයුතු කරන්නේ විවෘත විශ්ව විද්‍යාලයෙන් එළියට ආව කෙනෙක් ඇය ඉතාම දක්ෂයි. කෙනෙක්ගෙ වයස බලලා ගම බලලා තීරණ ගන්න අමාරුයි. බහුතර සුභ සිද්ධියටයි තීරණ ගන්න ඕනේ. එතනදි විවෘත විශ්ව විද්‍යාලය මේ ළමයින්ගේ භාෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විවෘත විශ්ව විද්‍යාලය විසින් කටයුතු කරන්න ඕනෙ. ඒකට නීති විද්‍යාලයට හෝ  නීති අධ්‍යාපන සභාවට චෝදනා කරලා හරි යන්නේ නැහැ.

2025 වෙනකොටත් ලියන මට්ටමට ඉංග්‍රීසි හදාගන්න බැරි නම් මම හිතන්නේ ඒ ඉල්ලීම එතරම් සාධාරණ නැහැ කියලා. මොකද ඇති තරම් කාලය දීලා තිබෙනවා.


භාග්‍යා :
මේ අලුත් විෂය නිර්දේශයේ සිට එන ළමයින්ට  මේක අදාළ කරලා මෙතෙක් විවෘතයේ ඉගෙන ගන්න නීති සිසුන්ව මේකෙන් නිදහස් කරන්න අපිට බැරිද?  


අතුල පතිනායක :

 

අලුත් ගැසට් පත්‍රයේ මොන විදියට ප්‍රතිපාදන සකස් වෙයිද කියන්න දන්නේ නැහැ. ගැසට් පත්‍රයේ තිබුනේ නම් බලපවතින්නේ 2025 ඉඳලා. ඒ, කාලය ඇති මේ ළමයින්ට සූදානම් වෙන්න. එතකොට විවෘත විශ්ව විද්‍යාලයට වගකීමක් තියෙනවා ඒ කාලය තුළ ඒ ළමයාව පුරුදු කරන්න. ඒක නීති විද්‍යාලයට පවරන එක සම්පූර්ණයෙන් ම වැරදියි. ඒකෙදි විවෘත විශ්ව විද්‍යාලය දන්නවා මේ ළමයින්ට 2025න් පස්සේ මේ ළමයින්ට අධ්‍යාපන කටයුතු කරන්න වෙන්නෙ ඉංග්‍රීසියෙන් බව. ඇයි ඒ අය මෙච්චර කාලයක් නිහඬව ඉඳලා දැන් නීති අධ්‍යාපන සභාවට චෝදනා කරන්නේ?

 

භාග්‍යා :
ඒ ප්‍රශ්නය මම විවෘත විශ්ව විද්‍යාල පාර්ශවයෙන් වෙනත් දිනකදී මෙවැනිම සංවාදයකින් අහන්න බලාපොරොත්තු වෙනවා.


අතුල පතිනායක :
ඒ ළමයින්ට අවශ්‍යය නම් නීති විද්‍යාලයේ සියලු දේශන පවත්වන්නේ ඉංග්‍රීසියෙන්. ඒ අයට අහගෙන ඉන්න පුළුවන් ඇවිත්. අපි ඒක නවත්වලා නැහැ. මොන ආයතනයෙන් ආවත නීති විද්‍යාලයේ විදුහල්පති විදියට මට හැම ළමයාම එකයි. අනිත් එක විශ්ව විද්‍යාලවලින් එන අයගෙන් මෙතන යම්කිසි ආකාරයක ප්‍රශ්නයකුත් තියෙනවා. විදෙස් උපාධි අයගේ 30%ට වඩා ප්‍රමාණයක් කරලා තියෙන්නේ සිංහලෙන්. විදෙස් නීති උපාධි කරන අයගේ උපාධිය සහ නිබන්ධන සේරම ඉංග්‍රීසියෙන් කරනවා නම් ඇයි අපේ ළමයි සිංහලෙන් ලියන්නේ. කොතන හරි වරදක් තියෙනවා නම් අපි ඒක වෙනස් කරගෙන යන්න ඕනේ.


භාග්‍යා :
මං ආපහු එනවා ගැසට් එක පරාජය කළාට පසුව හිටපු අධිකරණ ඇමති අලි සබ්‍රිගේ ෆේස්බුක් සටහනකට. ඔහු කියනවා ඉංග්‍රීසි කතා කළ හැකි සහ නොහැකි විදියට පංති දෙකක් බිහිවෙනවා. බමුණු කුලයට විතරක් නීති අධ්‍යාපනය සීමා වෙනවා මේක ඉංග්‍රීසියෙන් නොකළොත් කියලා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව,  අන්තර්ජාතික සමුළු, Research Symposiums, පුද්ගලික අංශයේ රැකියා, උපරිමාධිකරණවල කටයුතු කිරීම වැනි අවස්ථා අහිමි වෙනවා මේ ඉංග්‍රීසි නැතිව කියලා. කවුන්සිල් එක, සබ්‍රි මහත්මයා සහ ඔබ ඇතුළු මේ ඉංග්‍රීසි කතා කළ හැකි පංතිය ඉඳගෙන ඉන්නේ නීතියේ දෙවඟන අතින් දරාගෙන ඉන්න තරාදියෙ එක පැත්තක විතරයි නේද?


 අතුල පතිනායක :

 

නීතියේ දෙවඟන තරාදිය ඔසවාගෙන ඉන්නේ ස්වභාවික යුක්තියෙ මූලධර්ම සම්බන්ධයෙන් මිසක් අධ්‍යාපනය සම්බන්ධයෙන් නෙවෙයි. ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තාම තරාදියෙ එකපැත්තක් පහළට යනවා කියලා ඉන් අදහස් වෙන්නෙ නැහැ.

 ruleoflaw 2000x0 c default

භාග්‍යා :
මම අදහස් කළෙත් ඒක නෙවෙයි අධ්‍යාපනයේ සමාන අයිතිවාසිකම් ගැන.


 අතුල පතිනායක :
හරි එතකොට ඉංග්‍රීසි දැනුම සමානව ලැබුවා නම් හැමෝම ඔය තරාදියෙ ඔක්කොම ඉන්නෙ එක තලයේ. මම ඔය කිව්ව කාරණය සම්බන්ධයෙන් කියන්නෙ ඇත්තම තත්වය ඉංග්‍රීසියෙන් නොකිරීමේ අවාසිය වෙන්නේ එක්තරා කොටසකට විතරක් ඒක වැඩි ලාභයක් ලැබීම පමණයි. මම බලන්නේ මම දකින විදියට මේ ළමයි සියල්ලටම සමාන අවස්ථාවන් තියෙන්න ඕනේ. නීතිපති දෙපාර්තමේන්තුවට හරි විදෙස් සමුළුවකට හරි ඕනෑම ආයතනයකට ගිහින් බය නැති කතා කරලා යමක් කිරීමට.

ලංකාව ඉදිරියේදී තව අවුරුදු 5ක් හෝ 6ක් යනකොට අපේ රට වෙනස්ම දියුණුවක් ලබන්න පුළුවන්. ඒක අනිවාරනේම වෙනවා අපි කොච්චර දැනට අමාරුකම් තිබුණත්. එතකොට ගමක ඉඳලා ආව ළමයා හැමදාම ඒ ගමේ තියෙන පුංචි නඩුවකට පෙනී සිටීමද බලාපොරොත්තු වෙන්නේ? ඇයි අපි ගමෙන් එන ළමයට අවස්ථාව දෙන්නෙ නැත්තේ? මම දකින්නේ ඒ විදියට. මට ඕනෙ හැමෝම එක තලයකට ගෙන ඒම මිසක් තරාදියෙ එක පැත්තක් බර කිරීම නෙවෙයි.

 I want to give everyone an equal opportunity  එක තමයි මම බලාපොරාත්තු වෙන්නේ. ඒක වෙයිද නැද්ද කියන එක මම දන්නෙ නැහැ. එහෙම වෙන්නෙ නැත්නම් ඒක හරි අපරාදයක්.


භාග්‍යා :
මීළඟ කාරණය ගැසට් පත්‍රයේ තිබෙන නීතිඥවරයෙකු වීමට බලපාන අවසාන විභාගයේදී උසස්පෙළ විභාගයේ සුදුසුකම් සළකා බැලීම. එතෙක් පැවති S3 සුදුසුකම C2 S1 දක්වා වෙනස් කරනවා. ගැසට් පත්‍රය අනුමත වුණා නම් විවෘත විශ්ව විද්‍යාලයට තමයි මේ තීරණයෙන් ප්‍රබලතම බලපෑම එල්ල වෙන්නේ. ඇයි මේ උපාධිය හෑල්ලුවට ලක් කරන්නේ?


අතුල පතිනායක :
මේ ගැනත් කියන්න තියෙන්නේ මේ ගැසට් එක පැමිණීමට පෙර හැම ආයතනයක් ම දැනගන්න ඕනෙ නීති විද්‍යාලයේ අවම සුදුසුකම. ඒක 2020දි ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ අවස්ථාවේ යම්කිසි ආයතනයක් ඒ ආයතනයට බඳවා ගන්න අය පහළ අධ්‍යාපන සුදුසුකම් මත බඳවා ගන්නවා නම් ඒකෙන් කියන්න බැහැ නීති විද්‍යාලය හෝ නීති අධ්‍යාපන සභාව යම්කිසි ආයතනයක් වෙනුවෙන් වැරදි විදියට කටයුතු කරනවා කියලා. විවෘත විශ්ව විද්‍යාලයට කරන්න තිබුණේ ඒ ළමයින්ව අතරමං කරන එක නෙමෙයි. ඒකට සුදුසු පියවර අරගෙන පහසුකම් සැපයීම. නීති අධ්‍යයන සභාවේ අරමුණ නීති අධ්‍යාපනය උසස් තත්වයට ගෙන ඒම. එක එක ආයතනවල එක එක සුදුසුකම් තිබෙනවා. ඉතින් එහෙම බැලුවොත් එක එක විශ්ව විද්‍යාල වල අවශ්‍යතාවන්ට අනුව නීති අධ්‍යාපනය කටයුතු කරන්න ගියෝත් නිති අධ්‍යාපනය කොතනට යනවද කියලා මට කියන්න බැහැ.

 
භාග්‍යා :
ඒ කියන්නේ ඔබ වක්‍රව චෝදනා කරන්නේ අදාළ නීති අධ්‍යාපන ආයතනයේ පරිපාලනයටද?

අතුල පතිනායක :
කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ මම. නමුත් මම කියන්නේ නීති අධ්‍යාපන සභාව යම්කිසි ආකාරයක රීතියක් නිකුත් කරලා තිබෙනවා නම් ඒ අනුව කටයුතු කිරිම අනෙක් ආයතනවල වගකීම වෙනවා. නීති අධ්‍යාපන සභාව පැහැදිලිවම දැනුම් දීමක් කරලා තිබෙනවා ඔවුන්ගේ අවශ්‍යතාව මොකක්ද කියලා, ඊට පෙර ඒ ආයතනවලට ඊට සුදුසු විදියට කටයුතු කරන්න පුළුවන්. විවෘත විශ්ව විද්‍යාලය නෙවෙයි. විදෙස් විශ්ව විද්‍යාලත් තියෙනවා. මේක එක ආයතනයක් ගැන දෙයක් නෙවෙයි.

නිති අධ්‍යයන සභාවේ කටයුතු තමයි නීති අධ්‍යාපනයයි නීති වෘත්තියයි ඉහළ මට්ටමකට ගෙනයාම

 

මෙතනදි මම කියන්නේ නැහැ කිසිම කෙනෙක්ට LLB උපාධිය ගත්ත පළියට සුදුසුකම් නැහැ කියලා. හැබැයි මූලික සුදුසුකම් තිබිය යුතුයි. මොකක් හරි ප්‍රමිතිකරණයක් තියෙන්න ඕනෙනෙ. ඒක තමයි මේ කරලා තිබෙන්නේත නැතිව කිසිම පිරිසක් ඉලක්ක කරගෙන කරපු දෙයක් කියනවා නම් ඒක සම්පූර්ණයෙන් ම වැරදියි.

 

භාග්‍යා :
තවත් චෝදනාවකත් තමයි නීති විද්‍යාලයේ ගාස්තු වැඩි කිරීම. මේ සම්බන්ධයෙන් ඇයි එක පැත්තකින් C2 S1 එනවා. අනෙක් පැත්තෙන් ගාස්තු වැඩි කරනවා. මට ආපහු අහන්න හිතෙනවා මේ එන පැළැන්තියකට සීමා කරන්න නෙවෙයිද නීති විද්‍යාලය මේ හදන්නේ?


 අතුල පතිනායක :
ඒක මම පිළිගන්නේ නැහැ. මොකද නීති අධ්‍යාපන සභාව සම්පූර්ණයෙන් ම පුද්ගලික ආයතනයක්. අපිට රජයෙන් සතයක්වත් ලැබෙන්නේ නැහැ. අපි මේක සම්පුර්ණයෙන්ම පවත්වාගෙන ගියේ ඒ ළමයින්ගෙන් ලැබෙන ආදයම මත ලැබෙන මුදලින්. පහුගිය කාලය තුළම එක ළමයෙකුගෙන් අපි අවුරුදු 3ටම ගත්තේ රුපියල් 80,000කට ආසන්න මුදලක්. නමුත් විවෘත විශ්ව විද්‍යාලයේ ළමයි මීට වඩා ගෙවනවනේ? දැන් මේ නීති විද්‍යාලය තමයි ප්‍රශ්නෙ තියෙන්නේ. වැඩි මුදලක් ‍ගෙවලා විවෘත විශ්ව විද්‍යාලයේ LLB එකක් කළාට ප්‍රශ්නයක් නැහැ. සමහර විදෙස් විශ්ව විද්‍යාලවල මිලියන ගණනින් ගෙවන්නේ.

 අපි කිසියම් සාධාරණ  ප්‍රමාණයකට වැඩි කළේ මේ අධ්‍යාපන කටයුතු ඉහළ තත්වයකට ගෙන යාමට. විදෙස් ආචාර්යවරු ගෙන්වන්න. මෙහෙ අධ්‍යාපන තත්වය ඉහළ තැනකට ගෙනියන්න අවශ්‍යයයි. යම් මුදලක් වැඩි කළා තමයි. නමුත් ඒ මුදලත් විවෘත විශ්ව විද්‍යාලයේ මුදලට වඩා අඩු ප්‍රමාණයක්. ඒකෙන් වැඩිම බලාපොරොත්තු වෙන්නේ විදෙස් විශ්ව විද්‍යාලවල ළමයින්ගෙන් වැඩි මුදලක් ගන්න.


භාග්‍යා :
උපාධි කඩ ගැනත් අපි කතා කරමු. මේ ගැන ඔබ දරණ මතය මොකක්ද?


අතුල පතිනායක :
මෙතනදි මේ ගැසට් එක ඒ වගේ දේවල් සිදු වෙනවා නම් ඒකත් බලපාන විදියට තමයි ගැසට් එක හදලා තිබුණේ. දැන් එය කියන ආකාරයේ අඩු කාලයකදී එනවා නම් උපාධියක් ලබාගෙන. ඒ සියල්ලම ප්‍රමිතිකරණය කිරීමට තමයි මේ ගැසට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි පුද්ගලයෝ දක්ෂ පුද්ගලයෝ නීති වෘත්තියට යැවීම තමයි කවුන්සිලයේ උත්සාහය වෙන්නෙත එතනදි ඒ පුද්ගලයා එන්නේ කොළඹින්ද ගාල්ලෙන්ද මාතරින්ද යාපනෙන්ද කියන එක නෙවෙයි ප්‍රශ්නය. නිති වෘත්තියට ඔබින පුද්ගලයෝ මෙතනින් බිහි කිරීම තමයි බලාපොරොත්තුව. කිසියම් ආකාරයක නිසි අධ්‍යාපන සුදුසුකමක් නොලබා එනවා නම් ඒ අයවත් පාලනය කිරීම තමයි ඒ ගැසට් එකෙන් සිදු වෙන්නේ.


භාග්‍යා :
අවසාන වශයෙන් ඔබ අද නීති විද්‍යාලයේ විදුහල්පති. හෙට දවසේ අතුල පතිනායක කියන චරිතය කොතනක ඉඳීවිද?


අතුල පතිනායක :
මම දැනට මගේ සම්පූර්ණ කාලයයි ශ්‍රමයයි යොදවන්නේ මේ නීති විද්‍යාලය වෙනුවෙන්. මම ඔස්ට්‍රේලියාවේ සිට ආවේත් ඒකට. හෙට දවසේ මොනවා වෙයිද කියන්න මම දන්නෙ නැහැ. මගේ කාල සීමාව අවසන් වුණාට පස්සේ මම  ලංකාවේ හෝ වෙන රටක නීති අධ්‍යාපනය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් මම ඒ වෙනුවෙන් කටයුතු කරාවි. මම මගේ ජිවිතේ සම්පූර්ණයෙන්ම කැප කරන්නේ නීති ක්ෂේත්‍රයේ උනන්තිය සඳහා යමක් කිරීමට පමණයි. ඒක තමයි මම ලබන සතුට.



භාග්‍යා :
නීති වෘත්තියට එන්න බලාගෙන ඉන්න අපි වගේ අයට මොනවද කියන්න තියෙන්නේ?

අතුල පතිනායක :
තමන් කරන දේට අවංක වෙන්න. ඒක තමයි කෙනෙකුට නීතිඥයෙක් විදියට සේවාදායකයෙකුට කරන්න පුළුවන් උපරිම සේවය. ගන්න මුදලට සරිලන සේවයක් ඩටු කිරීමයි වැදගත් වෙන්නේ. නැතිව කොහොම හරි නීතිඥයෙක් වෙනවට වඩා ලබපු අධ්‍යාපනය හරියට ලබාගෙන ඒකෙන් අවංකව තමන්ගේ රැකියාවේ තියෙන ගරුත්වය ආරක්ෂා වෙන විදියට කටයුතු කිරීමයි.

මම අනිත් විශ්ව විද්‍යාලවල හැමෝටම කියන්නේ.. එන්න නීති විද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබලාට හොඳ හැකියාවන්, දැනුම තිබනෙවා. ඇවිත් මාත් එක්ක කතා කරන්න. අපි එකතු වෙලා නීති අධ්‍යාපනය හොඳ තැනකට ගෙනියමු. මම කිසිම විදියකින් මේ තැනැත්තා මේ ආයතනයෙන් ආවා කියලා වෙන් කිරීමක් කරන්නේ නැහැ. විවෘත විශ්ව විද්‍යාලය හෝ වේවා කොළඹ විශ්ව විද්‍යාලය හෝ වේවා මම ඒ අයව ඉදිරියට ගෙනියන්න ලෑස්තියි.

මෙම සංවාදය පහතින් නරඹන්න



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්