මා  එසේ පැවසුවේ දිවසත් අයියා ද අසල සිටින වගක් නොහැඟී අමෝද්‍ය මගේ සිරුරට තුරුල් කරගන්නා අතර ය. ඒ මොහොතේ වුව ද අමෝද්‍ය ඊට

ප්‍රතිචාර දැක්වූයේ නව යුවළක් හැසිරිය යුතු ආකාරයෙන් නොවේ. ඔහු එක් වර ම යම් තිගැස්මකට ලක් විය. එහෙත් එය දැනෙන්නට නොහැරි හෙතෙම ‘‘හම්ම්ම්... මං ඒක දන්නව අහිංසනා... අපි ඒව පස්සෙ කතා කරමු. දැන් යමුද...? දිවසත්ටත් ටයඩ් ඇති නෙ,’’ යැයි මට පවසා දිවසත් දෙසට අත යොමු කර ‘‘දිවසත් අපි යමු ද... ඔයාටත් ටයඩ් ඇතිනෙ. ගිහින් ටිකක් රෙස්ට් කරමු...’’ යැයි යෝජනා කළේ ය.


‘‘ ආ... හරි හරි... මම මේ පැත්තකට වෙලා හිටියෙ අලුත් ජෝඩුවට අවට සිරි නරඹන්න බාධා කරන්න හොඳ නැති නිසා. හරි... එහෙනං අපි යං...’’


‘‘සිරි...! සිරි නරඹන්න හම්බවේවි තව ටිකකින් ගින්න පත්තු උනාට පස්සෙ.’’


අමෝද්‍ය එසේ පැවසුවේ විහිළුවට මෙන් වුව ද එහි බරපතළකම ඔහුට සැබැවින් ම දැනුණ බව හැඟුණේ හෙතෙම කාරයේ දොර අඩක් විවර කර ප්‍රශ්නාරථත ලකුණු පිරී තිබූ ඔහුගේ දෙනෙත් මාරුවෙන් මාරුවට මගේ උවනේ සහ අමෝද්‍ය ගේ වුවනේ අලවන විට ය.


ඔහු කිසියම් ව්‍යාකූලත්වයකට පත්ව ඇති බව අවබෝධ කරගත් අමෝද්‍ය එසැණින් ම ‘‘හරි හරි... අපි එන විදියකට මූණ දෙමු. දැන් මේ මෙච්චර දුරක් ආව වගේ ම ඉතුරු ටිකත් හිත කරදර නොකරගෙන යමු,’’ යැයි පැවසුවේ දිවසත් අයියාගේ උරහිසට සිහිනියට තට්ටු කරන අතර ය.


විහිළු ස්වරයෙන් වුව ද අමෝද්‍ය පැවසුවේ ඇත්ත ම ඇත්තකි. නියමිත වේලාවට මා ඕස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළට නොපැමිණි බව අම්මාගේ ශිෂ්‍යාව වන චමෝදි දැනුම් දුන් සැණින් අම්මාත් තාත්තාත් පත්වන තත්ත්වය සහ අනතුරුව ඔවුන් කුමනාකාරයෙන් කටයුතු කරාවි ද යන්න සිහිපත් වන විට හදවත වේදනාවෙන් පෙළෙන අතර ම දැඩි මානසික පීඩනයකට ද ලක්වීමට අපි තිදෙනාට ම සිදුවනු ඇත. එය ජිවිතයේ ඊළඟ පියවර තැබීමට පැන ගත යුත් එක් සුවිශේෂී කඩුල්ලකි.


e49af1 06396588f34846f080cdbeb8d910c111mv2මේ සියල්ල සැලසුම් කළේ දිවසත් අයියා ද, අමොද්‍ය ද, එසේත් නැතිනම් දෙදෙනාගේ ම අදහස් සංකලනයකින් ද යන්න මා කිසිවක් ම නොදනී. මා කළේ දිවසත් අයියා කී පරිදි කටයුතු කිරීම පමණි. දිවසත් අයියා කෙසේ වුව ද අමෝද්‍ය කටයුතු කරන්නේ අනාගතය පිළිබඳ දැඩි අවධානයකින් බව මා අත් දැකීමෙන් ම දන්නා බැවින් මින් ඉදිරියට කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව නිශ්චිත සැලසුමක් ඇතැයි මට විශ්වාස ය. එහෙත් ඉදිරි පැය කිහිපයේ දී දිවසත් අයියා වෙත කිසියම් චේදනාවක් එල්ල වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා ඔහුගේ සුදානම කෙබඳුද යන්න මම දැන නොසිටියෙමි. කාරයට නැග පිටත්වනවාත් සමග ම මා දිවසත් අයියාගෙන් ඒ පිළිබඳ විමසුවේ එබැවිනි.


‘‘විහිළු නෙවෙයි අමෝද්‍ය... ඇත්තට ම තව ටිකකින් වෙන දේවල්වලට ඔයයි මමයි මොන විදියට රියැක් කරත් දිවසත් අයිය ඒ සිටුවේෂන් එකට රියැක් කරන්නෙ කොහොම ද... ඒ ගැන අයියට හරි ඔයාට හරි අයිඩියා එකක් තියෙනවද අමෝද්‍ය...?


මා එසේ විමසුවේ අමෝද්‍යගේ ළැපැත්තට හිස හොවාගන්නා අතර ය.


‘‘නංගි ඒ ගැන හිතන්න එපා. අමෝද්‍ය ඒකටත් ඇමරිකන් ඔපරේෂන් එකක් ප්ලෑන් කරල තියෙන්නෙ. ඒ ප්ලෑන් එකෙන් කොටසක් මං මාමාත් එක්කත් කිව්ව.’’

 

දිවසත් අයියාගේ අවසන් වදන් ඇසෙන විට මා සිටියේ තව තවත් අමෝද්‍යගේ ළැපැත්තට තුරුලු වෙමිනි. අමෝද්‍ය ඉතා සිනිඳුවට මගේ හිස අතගාමිනි සිටි බව ද මතක ය. එහෙත් එක් වරම මගේ හිස කුමක හෝ තදින් හැපෙනවා බඳු හැඟිමක් දැනිණ. එසැණින් මා අමෝද්‍යගේ ළැපැත්තෙන් මගේ හිස ඉවතට ගත්තේ විදුලි සැරයක් වැදුණ තරම් වේගයෙනි.

 

‘‘අයිය තාත්තට කිව්ව...! දෙයියනේ...!! ඒ කියන්නෙ තාත්ත දන්නව ද මං මෙහෙම එන බව... අනේ අමෝද්‍ය මොනවද මේ දිවසත් අයිය කියන්නෙ...?’’ යැයි තරමක් හඬින් විමසූ මා අමෝද්‍ය දෙසට හැරී ඔහුගේ බාහු යුගලෙන් අල්ලා සෙලවූයේ පිස්සියක මෙනි. මා දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව ක්ෂණයෙන් අවබෝධ කරගත් දිවසත් අයියා කඩිනමින් ම කාරය මාර්ගයේ වම්පසට වන්නට කර, නතර කළේ ය; අමෝද්‍ය කිසිදු කලබලයකින් තොරව ස්මිතය පිරි උවනෙන් යුතුව මගේ උවන වෙත ඔහුගේ දෙනෙත් ඔබාගෙන සිටියේ ය.


කාරය නතර කළ දිවසත් අයියා, පිටුපස හැරී, ඉදිරි පෙළ අසුනෙන් ඉහළට හිස ඔසවා ‘‘අයියෝ නංගි... ඔයාට පිස්සු ද...?’’ යැයි විමසුවේ ද පූර්ණ ස්මිතයකින් උවන සරසාගනිමිනි.


‘‘පිස්සු ද කියන්නෙ... ඉතිං දැං ඔයාම නෙ කිව්වෙ ‘ප්ලෑන් එකේ කොටසක් මාමාටත් කියල තියෙන්නෙ’ කියල. මට නං තේරෙන් නෑ අයියෙ ඔයාල මොනවද මේ කරන්නෙ, කියන්නෙ කියල.’’

 

hope


මා එසේ විමසුවේ තරමක් ආවේගයෙනි. අමෝද්‍ය එය වටහාගත් බැවින්දෝ ඍජුවම මගේ උවන ඔහුගේ දෙනෙත්වල ග්‍රහණයට නතු කරගන්නා අතර ම ‘‘අහිංසනා... දිවසත් කිව්වෙ එහෙම දෙයක් නෙවෙයි. අපේ ප්ලෑන් එකේ විදියට ඔයා ෆ්ලයි කරන්න හිටපු ප්ලේන් එක ඕස්ට්‍රේලියාවට ලෑන්ඩ් කරන්න පැයකට විතර කලින් දිවසත්ගෙ ෆෝන් එක ඕෆ් කරනව. එහෙම ඕෆ් කරන්නෙ එයාට තියෙන ස්පෙෂල් මීට්න් එකක් නිසා. ඒ මීට්න් එක සමහර විට රැ දහය විතර වෙනකං උනත් තියෙන්න පුළුවං. ඉතිං ඒ නිසා එයා ඔයාගෙ අම්මටයි තාත්තටයි දෙන්නට ම කියල තියෙන්නෙ ඒ වෙලාවට ෆෝන් එක ඕෆ් කරල තිබුනොත් එයා ඔයාගෙ අම්මලට කොල් කරනකං එයාට ආයෙ කෝල් ගන්න එපා කියල. ඔන්න ඕක තමයි ඔයාගෙ තාත්තට කියපු අපේ ප්ලෑන් එකේ කොටස. තේරුණා ද...?’’ යැයි මගෙන් විමසූ අමෝද්‍ය ‘‘අපි යං දිවසත්... මේ කෙල්ලට පිස්සු’’ යැයි පැවසුවේ මගේ ලලාටය අමෝද්‍යගේ නැහැ තුඩෙන් උණුසුම් කරන අතර ය.


ඒ සමග ම ‘‘දැන් තේරුණා ද පිස්සියෙ අපේ ඇමරිකන් ඔපරේෂන් එකේ ඔයාගෙ තාත්තට කියපු කොටස...?’’ යැයි උපහාසයෙන් මෙන් විමසූ දිවසත් අයියා යළි කාරය ඉදිරියට පැදවී ය.


‘‘අනේ ඇත්තට ඔය දෙන්න නං...’’ යැයි පැවසූ මා අමෝද්‍ය ගේ දෙඋරිස් වෙත මඳ වේගයෙන් පහර පිට පහර එල්ල කළේ මා පත්වූ ලජ්ජාව මගහැර ගැනීම සඳහා මිස ඔහු සමග හෝ දිවසත් අයියා සමග කිසිදු අමනාපයකින් නොවේ.


‘‘හම්ම්ම්... ඔන්න දැන් අපි කුමාරයගෙයි කුමාරිගෙයි මාලිගාවට ආව. දැන් බැස්ස නං...’’

 

දිවසත් අයියා එසේ පැවසුවේ කුඩා වුව ද හුරුබුහුටි, අලංකාර නිවසක් ඉදිරිපිට පිහිටි මිදුලක කාරය නතර කළ පසුව ය. එතෙක් අප පසුකර ගිය මිනිත්තු දහයක පහළොවක පමණ කාලය මා ගෙවා තිබුණේ අමෝද්‍ය ගේ පපු තුරෙහි ය.

 

දිවසත් අයියා තෙවතාවක් පමණ කාරයේ නළාව ශබ්ද කරන විටත් මා විශ්මිතව නිවස දෙස බලා සිටියේ මට මේ කිසිවක් ම අදහාගත නොහැකි බැවිනි.


‘දෙවියනේ...! මං වෙනුවෙන් අමෝද්‍ය වගේ ම දිවසත් අයියත් මොන තරං කැපවීමක් කරල ද... එතකොට මේ ගේ...’


‘‘අහිංසනා... බහින්න... මේ තමයි මට දැනට ඔයාට රැකවරණය සලසන්න පුළුවං හොඳම තැන. බහින්න...’’

 

hose


අමෝද්‍ය එසේ පවසන විට මා සිටියේ වෙනත් ලොවක ය. මා නිවසේ ප්‍රධාන දොර වෙත අවධානය යොමු කරන විට වයස අවුරුදු හතළිහක් පමණ වන, තරමක් ලොකු මල් සහ කොළ සහිත චීත්තයකින් ද ඊට ම සරිලන ළා නිල් පැහැති බ්ලවුසයකින් ද සැරසීගත් රුවැති කාන්තාවක් අප සිටි කාරය දෙසට පැමිණෙනු දුටු මා ‘‘මේ කවුද අමෝද්‍ය... ඔයාගෙ අම්ම ද...?’’ යැයි විමසුවේ තරමක් විමතියෙනි.


ඊට එක පැහැර පිළිතුරක් නොසැපයූ අමෝද්‍ය ඔහුගේ වමතින් මගේ දකුණත අල්ලාගෙන කාරයෙන් බැස්සේ ය. ඒ වන විට එම කාන්තාව අප ඉදිරියට පැමිණ ඉතාම සුන්දර ස්මිතයක් පෑවා ය.


‘‘අහිංසනා... මේ ඉන්නෙ රන්මලී... අද ඉඳල ඔයාගෙ ආරක්ෂාවටයි අත් උදව්වටයි හැම දේට ම ඉන්නෙ මෙයා තමයි...’’


අමෝද්‍ය එම කාන්තාව වෙත අවධානය යොමු කරමින් ඇය මා හට හඳුන්වා දෙන විට ඇය ‘‘පුංචි නෝනෙ...’’ යැයි පැවසුවේ ඉතා බැගෑපත් ලෙසිනි. මට එක් වරම කමල නැන්දා සිහිපත් විණ. ඇය මට ආමන්ත්‍රණය කළේ ‘බේබි’ යනුවෙනි. ඒ ආමන්ත්‍රණයට මා එතරම් ප්‍රියතාවක් නොදැක් වූයේ මේ වන විට විසිවන විය ද ඉක්මවා සිටින මට ‘බේබි’යැයි අමතන විට මට මා ගැන ම ලජ්ජාවක් ඇතිවන බැවිනි. මට ‘බේබි’ යැයි නොකියන ලෙස ඇයට කෙතරම් පැවසුව ද ඇය එය මායිම් නොකළා ය. මේ මොහොතේ අප අබියස සිටින කාන්තාව මා හට ‘පුංචි නෝනේ’ යැයි ඇමතීම තරමක සැනසීමක් විය.


‘‘සර්ල යන්න... මං බෑග් ටික අරගෙන එන්නං,’’ යැයි පැවසූ ඇය දිවසත් අයියාගෙන් කාරයේ යතුරු කැරැල්ල ඉල්ලාගත්තා ය. ‘‘යං යං... අපි ගෙට යං...’’ යැයි පැවසූ අමෝද්‍ය ඔහුගේ වමත මගේඋරිසේ තබා මා ඔහු දෙසට තරමක් ළං කරගෙන ම නිවසට පිවිසියේ ය. ඒ වන විටත් දිවසත් අයියා පැමිණ සාලයේ තිබූ දිගු සෝෆා වර්ගයේ අසුනේ අසුන්ගෙන තිබිණ.


‘‘මේහ්... මං ඒ මනුස්සයට රන්මලී නැන්දෙ කියන්නද...? නිකම්ම නිකං රන්මලී කියන්න මට මොකද්ද වගේ...’’ යැයි මා අමෝද්‍ය ගෙන් විමසුවේ සැබැවින් ම ඇයට නම පමණක් කියා අමතන්නට මට සිත් නොදුන් බැවිනි.


‘‘ආ... ඒකට කමක් නෑ. ඇත්තට ම ඒ මනුස්සය වැඩකාරියෙක් නෙවෙයි. මගේ ක්ලාස්වලට එන දුප්පත් ළමයෙකුගෙ අම්ම. මං ඒ ළමයට උගන්නන්නෙ නොමිලෙ. හැබැයි එහෙමයි කියල මං මේ මනුස්සයගෙන් නිකං වැඩ ගන්නෙ නෑ හොඳේ...’’ යැයි අමෝද්‍ය පැවසුවේ ඔහුගේ නිදොස් භාවය සපත කරනු වස් ය.


hosesaසාලය: සෝෆා අසුන් කට්ටලයකින්, එම අසුන් කට්ටලය මධ්‍ය යේ තිබා තිබූ වීදුරු ටීපෝවකින්, දකුණු පසට වන්නට තබා තිබූ තවත් දැව පුටු කිහිපයකින්, ඇතුළු වන විටම දක්නට ලැබෙන බිත්තිය පෙදෙසේ තබා තිබූ විවිධ වීදුරු භාණ්ඩවලින් පිරි කැබිනෙට්ටුවකින් සහ කැබිනෙට්ටුවට දකුණු පසින් පිහිටි බිත්තිය මුල්ලේ තබා තිබූ අඩි හතරහමාරක් පමණ උස ත්‍රිකෝණාකාර රාක්කයකින් සමන්විත විය. එම රාක්කයේ ඉහළම තට්ටුවේ අලංකාර මල් පිරි මල් බඳුනක් ද තිබිණ. අනෙක් තට්ටු තුනෙහි ද කුමන හෝ දෙයක් දක්නට තිබුණ ද මා එදෙස එතරම් අවධානයක් යොමු නොකරමින් වම් පස දෙසට අවධානය යොමු කළේ ය. එවිට දක්නට ලැබුණු දසුනෙන් පැහැදිලි වූයේ කාමර දෙකක් පිහිටා ඇති බවයි. කාමර දෙකට ඇතුළු වන ස්ථානයේ අලංකාර තිර රෙදි දෙකකින් ආවරණය කර තිබිණ.


මා එදෙස වැඩි වේලාවක් බලා සිටි බැවින්දෝ අමෝද්‍ය ‘‘හම්ම්ම්... යන්න අහිංසනා... අර කාමරේට ගිහිං චේන්ජ් එකක් දාගන්න. බාත්රුම් තියෙන්නෙ අර පැත්තෙ යැයි පවසා සාලයේ ද තිර රෙද්දකින් ආවරණය කර තිබූ ස්ථානය වෙත අත දිගු කළේ ය. ඒ සමග ම මා රැගෙන ආ විශාල බෑගය ඇදගෙන පැමිණි රන්මලි එය ද රැගෙන අමෝද්‍ය මා හට පෙන්වූ කාමරයට ඇතුළු වූයේ තවත් කුඩා ගමන් බෑගයක් පළමු කාමරය ඉදිරිපිට තැබීමෙන් අනතුරුව ය. ඒ දර්ශනයෙන් පැහැදිලි වූයේ ඉදිරි කාමරය දිවසත් අයියා වෙත වෙන් කර ඇති අතර දෙවන කාමරය මටත් අමෝද්‍යටත් වෙන් කර ඇති බවයි. මා එම කාමරය වෙත ගමන් කරන විට එහි සිට පිටතට පැමිණි රන්මලී ‘‘යන්න පුංචි නෝනෙ... ඇඳුම් මාරු කරගෙන ඇගපත හෝදගන්න. මං කෑම ලේස්ති කරලයි තියෙන්නෙ.’’ යැයි පවසමින් පළමු කාමරය ඉදිරියේ තැබූ බැගය ද රැගෙන එම කාමරයට ඇතුළු වූවා ය.


සිද්ධිය අවසන් වුව ද මා පසුවූයේ තවමත් ඒ සිදුවීම් කිසිවක් වටහාගත නොහැකි මානසික මට්ටමක ය. දිවසත් අයියා කිසිදු කතාබහකින් තොරව දිගු සෝෆා අසුනේ හිස තබාගෙන දෙපසට දැත් දිගහැරගෙන කල්පනාවක ය. අමෝද්‍ය මා දෙස ම බලා සිටින්නේ ය. ඊළඟ නිමේෂයේ කළ යුත්තේ කුමක් ද යන්න පවා මට සිතාගත නොහැකි ය. මා පත්ව සිටින තත්ත්වය වටහාගත් බැවින්දෝ දිවසත් අසලට ගිය අමෝද්‍ය ‘‘මල්ලි... අන්න ඇඳුම් බෑග් එක ගෙනාව. වොෂ් එකක් දාගන්න. අපිත් වොෂ් එකක් දාගන්නං. ඊට පස්සෙ තියෙන දෙයක් කාල පොඩ්ඩක් රේස්ට් කරන්න. ඊට පස්සෙ කතා කරමු,’’ යැයි පැවසි ය.


‘‘හ්ම්ම්ම්... ඔවු... එහෙම හොඳයි අයියෙ...’’ යැයි පැවසු දිවසත් අයියා නැගිට කාමරයට ඇතුළු වූ පසු මා අසලට පැමිණි අමෝද්‍ය ‘‘පවු... දිවසත් ඔයා වෙනුවෙන් මාර කට්ටක් කන්නෙ. ඒ වගේ ම එයා ඔයාට පුදුම විදියට ආදරෙයි. පහුගිය දවස් ටිකේ ම වැඩිපුර හිටියෙ මාත් එක්කමයි.


අමෝද්‍ය පැවසුවේ ඇත්ත ම ඇත්තකි. දිවසත් අයියා කුඩා අවදියේ සිට ම මට පුදුමාකාර ලෙස ආදරය කළ පුද්ගලයෙකි. මා ඔහුගේ ඇවැස්ස නෑනා වුව ද කිසිදු දිනක ඒ අයිතිවාසිකම කියන්නට ඔහු නොපෙලඹිණ. ඔහු එදා සිට මේ දක්වා මට සැලකුවේ ඔහුගේ ම සොයුරියක ලෙසිනි. ඔහුට, ඔහුට වඩා බාල සොයුරෙක් සහ සොයුරියක් සිටිය ද ඔහු මට ඔහුගේ ම සොයුරියට වඩා ආදරය කරන්නට ඇතියි මට සිතුණ වාර අනන්ත ය; අප්‍රමාණ ය. කුඩා අවධියේ ඔහු සිය සොයුරා සහ සොයුරිය සමග අප නිවසට පැමිණි අවස්ථාවල දී පවා අපි අතර කිසියම් ගැටුමක් ඇතිවූ විට ඔහු නිරන්තරයෙන් පෙනී සිටියේ මා වෙනුවෙනි. තවත් කල් ඉක්ම යන විට අපේ පවුලේ ඥාතිහු මා සහ ඔහු පිළිබද විහිළු ද පබඳින්නට වූහ. සැබැවින් ම මා වුව ද එකල සිතුවේ ඔහු මට ආදරය කරන්නේ සොයුරු පෙම ඉක්මවන වෙනත් බලාපොරොත්තුවකින් විය හැකි ය කියා ය. එහෙත් මා අමෝද්‍ය සර්ට ආදරය කරන මොහොත දක්වා ම දිවසත් අයියාගෙන් එවන් යෝජනාවක් ඉදිරිපත් නොවිණ. එසේ වූවා නම් ඇතැම් වට මා ඔහුට කැමැත්ත පළ කරන්නට ද ඉඩ තිබිණ. ඒ, මා ඔහු කෙරෙහි එතරමට ම විශ්වාසය තබා තිබු බැවිනි. මේ නිමේෂය යනු ඒ විශ්වාසයේ කුටප්‍රාප්තිය නොවන්නේ ද...?


මා යළි පියවි සිහියට එළඹියේ ‘‘හරි... මං ටක් ගාල වොෂ් එකක් දාගෙන එන්නං,’’ යැයි පවසමින්, කොට කලිසමකින් සැරසී, නිරුවත් උඩුකය වටා සාළුවක් දවටාගෙන අප පසුකර යන දිවසත් අයියා දුටු පසුව ය.

      *          *          *          *          *          *          *          *

අප තිදෙනා මෙම නිවසට පැමිණීමෙන් ඉක්බිති මේ වන විට අප පසුකර ගොස් ඇත්තේ හෝරාවක් පමණ වුව ද අප තිදෙනාට ම එය දැනුණේ හෝරා කිහිපයක් අප පසු කර ගොස් ඇති ලෙසිනි. අපි එන අතර මගදී ආහාර ගෙන තිබුණ ද රන්මලී නැන්දා සුදානම් කර තිබූ: ඉදිආප්ප, කූණිස්සන් මැල්ලුම සහ කිරිහොද්ද අප තිදෙනාගේ ම කුස පමණක් නොව සිත ද පුරවන්නට තරම් රසවත් විය.


3c9bbcf2295cadf504aa215dcbf2d648 skagen danishesකෑම මේසයේ දී ඇය අප වටා කැරකෙන හෙයින් අප අප පිළිබඳව කිසිවක් ම කතා නොකළේ අප මේ සිදු කරමින් පවතින කිසිවක් ඇය නොදන්නා නිසා යැයි මට සිතිණ. එබැවින් මා ද අමෝද්‍ය සහ දිවසත් අයියා මෙන් නිශ්ශබ්දව ආහාර ගත්තා මිසි කිසිවක් ම කතා නොකරන්නට වගබලා ගත්තෙමි. ආහාර ගැනීමෙන් ඉක්බිති දිවසත් අයියා ඔහුට වෙන් කළ කාමරය වෙත ගියේ පෙර දින රාත්‍රියේ සිට වූ වෙහෙස නිවාගැනීමේ අටියෙනි. දැන් ඉතිරිව සිටින්නේ මාත් අමෝද්‍යත් පමණි. කටුනායක සිට මෙහි එන අතර විටින් විට මා නිදිගත් බැවින් මට එතරම් නිදිමතක් නොපැවතිය ද අමෝද්‍යට නම් එසේ නොවනු ඇත. එහෙත් ඔහු ඒ පිළිබද එතරම් තැකීමක් නොකර ‘‘අහිංසනා... එහෙනං ඔයාටත් ටයඩ් ඇතිනෙ... ඔයා ටිකක් නිදාගන්න.’’ යැයි පැවසුවේ අප දෙදෙනා කලක සිට මේ නිවසේ වෙසන සෙයක් දක්වමිනි.


‘‘ඇයි මට විතරක්... ඔයාට ටයඩ් නැද්ද...? යං... අපි දෙන්නම ටිකක් නිදාගමු...’’ යැයි පැවසු මා අමෝද්‍යගේ අතින් අල්ලාගෙන කාමරය දෙසට යනවිට ‘‘අහිංසනා... ඔයාට පිස්සු ද... දිවසතුත් ඉද්දි අපි දෙන්න එකට නිදාගන්න එක හරි නෑ නෙ... යන්න... ඔයා ටිකක් නිදාගන්න. මට ක්ලාස් එකේ වැඩ වගයක් තියෙනව. මං ඒ ටික කරන්නං. හදිසියෙවත් නිදිමතක් ආවොත් මං සෝෆ එකෙං පොඩ්ඩක් ඇල වෙන්නං... යන්න පැටියො... ඔයා හොඳ ළමය වගේ ගිහින් ටිකක් නිදාගන්න,’’ යැයි පවසා මගේ හිස අතගා, නළල සිපගත්තේ ඔහු අද දින මා කැන්දාගෙන ආ ලෙස නොව මේ වන විටත් වසර කිහිපයක් ම මා සමග සිටි ලෙසිනි.


‘‘අමෝද්‍ය... මං මෙච්චර දුකක් විඳගෙන ඔයත් එක්ක ආවෙ කාමරේක තනියම නිදාගන්න නෙවෙයි. මට ඔයත් එක්ක ඉන්න ඕන නිසා. මොකද්ද මේ ඔයාට වෙලා තියෙන්නෙ...?’’ යැයි මා විමසුවේ නොරුසස්සනා ස්වරයෙනි. එහෙත් මගේ නොරිස්සුම කිසිදු ආකාරයකින් මායිම් නොකළ අමෝද්‍ය ‘‘ළමයො... මේ අහන්න. ඔයත් එක්ක මම කාමරේ නිදාගත්තත් නැතත් මං ඔයාගෙ; ඔයා මගේ... ඒත් මේ වෙලාවෙ දිවසත් අයියත් ඉන්න නිසා අපි ටිකක් ඉවසමු. අනික මේව කෙරෙන්න ඕන විදියකුත් තියෙනව නෙ. ඒ නිසා මගේ හොඳ පැටිය වගේ ගිහින් නිදාගන්නකො. මොකද මං හෙට ක්ලාස් එකට යද්දි මේ වැඩ ටික ෆිනිෂ් කරගෙන යන්න ඕන. හම්ම්ම්... යන්න... ගිහින් හොඳ ළමය වගේ ආයෙ ඇහැරෙනකම්ම නිදන්න. මට මොනව හරි වුවමනා වුනොත් මං රන්මලීගෙන් ඉල්ලගන්නං.’’


අමෝද්‍ය මේ නොකියා පවසන්නේ කුමක් ද යන්න වටහා නොගැනීමට තරම් මා බොළඳ නොවේ. ඒ ඔහුගේ අවංක භාවය යි. ඉදින් මා ද ඔහුගේ ඒ අවංක භාවයට ගරු කළ යුතු ය; ඔහුගේ වදනට ගරු කළ යුතු ය. අප දෙදෙනාගේ යුග දිවිය අරඹන්නට තව බොහෝ දෑ කළ යුතු බවත් බොහෝ ඉවසිය යුතු බවත් මට පසක් විය.

ඉවර නෑ...

jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/10/28

 
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්