ඉන්දියාවේ අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපට කර්මාන්තය වන බොලිවුඩය බොහෝ අවස්ථාවල දී පිරිමින්ගේ ලෝකයක් ලෙස හැඳින්වෙයි.

 

 

එය බොහෝ කලෙක සිට කතාබහට ලක්වූ දෙයක්වූ නමුත්, තිරය තුළ මෙන් ම ඉන් පිටත ත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා වෙන් කෙරෙන ඉඩ කෙතරම් කුඩා ද යන්න දැන් නව අධ්‍යයනයකින් පෙන්වා දෙයි.

 

තෙළිඟු භාෂාවෙන් හින්දි බසට නගන ලද පුෂ්පා චිත්‍රපටයේ 'ඕ අන්ටාවා' ගීතය පසුගිය වසරේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙනස්කොට සැලකීම පිළිබඳ සංවාදයක් ඇති කළේ ය. 

 

ඩොලර් බිලියන 2.1ක වටිනාකමක් ඇති බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය තුළ සෑම වසරක ම චිත්‍රපට සිය ගණනක් නිෂ්පාදනය කෙරෙන අතර, එය ගෝලීය වශයෙන් ඉන්දියානුවන් අතර ඉහළ ජනප්‍රියත්වයක් උසුලයි. එම චිත්‍රපට සහ තරු ඔවුන්ගේ රසිකයින්ගේ පරිකල්පනය මත ඇති කරන බලපෑම කියා නිම කළ නොහැකි ය. නමුත් වසර ගණනාවක් පුරා බොහෝ බොලිවුඩ් චිත්‍රපට ප්‍රතිගාමීවීම, නාරිද්වේෂී සංකල්ප ප්‍රවර්ධනය කිරීම සහ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක් විය.

 

සුවිශේෂී අධ්‍යයනයක දී, මුම්බායිහි ටාටා සමාජ විද්‍යා ආයතනයේ පර්යේෂකයෝ හින්දි සිනමාව පුරුෂාධිපත්‍යයේ ග්‍රහණයට කෙතරම් ලක්වී ඇති ද යන්න ගණනය කිරීමට ප්‍රයත්නයක් දැරූහ.

ඔවුහු වසංගතයට පෙර අවසන් වසර වන 2019 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට 25ක්, සහ 2012 හා 2019 අතර කාලයේදී නිකුත් වූ කාන්තාවන් කේන්ද්‍රකර ගත් චිත්‍රපට 10ක් තෝරා ගත්හ. 2012 වසරේ දී දිල්ලි නුවර බස් රථයක් තුළ දී සිසුවියක සමූහ දූෂණයට ලක් කිරීම, එම අපරාධය සම්බන්ධයෙන් ඇති වූ සමාජ කැළඹීම සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව දැඩි නීති හඳුන්වාදීමෙන් පසුව චිත්‍රපටවල කතා වස්තුවල යම් වෙනසක් සිදුවී ඇතිදැ යි සොයා බැලීම සඳහා එම කාල පරිච්ඡේදය තෝරාගනු ලැබ ඇත.

Lipstick Under My Burqa

එම චිත්‍රපට ලැයිස්තුවේ වෝර්, කබීර් සිංග්, මිෂන් මංගල්, දබංග් 3, හවුස්ෆුල් 4 සහ ආර්ටිකල් 15 මෙන් ම, කාන්තාවන් කේන්ද්‍ර කරගත් ලැයිස්තුවේ රාසි, ක්වීන්, ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා සහ මාගරීටා විත් අ ස්ට්‍රෝ ඇතුළු චිත්‍රපට අන්තර්ගත විය.

එම පර්යේෂකයෝ එක් එක් නළුවන් රඟපෑ චරිතවල වෘත්තීන් මොනවා ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා චරිත 2,000කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යයනය කරන ලද අතර, ලිංගික ඒකාකෘතිකරණය, කැමැත්ත සහ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති සමීප සම්බන්ධතාවය මෙන් ම හිරිහැර කිරීම වැනි පරාමිති කිහිපයක් ඔස්සේ චිත්‍රපට විශ්ලේෂණය කළහ.

 

ඔවුන්ගේ නිගමනය වූයේ, කාන්තාවන් කේන්ද්‍රකර ගත් චිත්‍රපට සුබවාදී අදහසක් ලබා ගැනීමට යම් හේතුවක් සැපයුව ද, බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට තුළ අඛණ්ඩව ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙනස්කොට සැලකීම හා ප්‍රතිගාමී මෙන් ම කාන්තාවන් සහ සමලිංගික, ද්වීලිංගික හා සංක්‍රාන්ති ලිංගික යන පුද්ගලයින් නිරූපණය අතිශයින් අසතුටුදායක තත්ත්වයක පැවති බව ය.

නිදසුනක් වශයෙන්, විශ්ලේෂණය කරන ලද චිත්‍රපටවල චරිතවලින් 72%ක් පිරිමින් විසින් ද, 26%ක් කාන්තාවන් විසින් ද, 2%ක් සමලිංගික, ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගික නළුවන් විසින් ද රඟ දක්වනු ලැබ තිබේ.

 

 zdfswer

අධ්‍යයන ව්‍යාපෘතියේ ප්‍රධානියා වන මහාචාර්ය ලක්ෂ්මි ලිංගම් පවසන්නේ, "බොලිවුඩ් චිත්‍රපටවල සාර්ථකත්වය රඳා පවතින්නේ, ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය පිරිමි නළුවන් මත" බව ය. චිත්‍රපට නිෂ්පාදකයින් පවසන්නේ, "ඉතා ප්‍රබල කාන්තා චරිතයක් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා නොගනු ඇති" බව ය.

 

"පිතෘමූලික සම්මතයන් කතාවක් හෝ කතා වස්තුවක් ගැන මිනිසුන්ට තියෙන අදහස වර්ණවත් කරන නිසා වගේ ම, මුදල් ඉපැයිය හැක්කේ මෙයින්යැ යි ඔවුන් විශ්වාස කරන නිසා ත් වෙනස් දෙයක් කිරීමට දරන උත්සහය ඉතා අල්පයි," ඇය බීබීසීය වෙත පැවසුවා ය.

 

ඇය පවසන්නේ, එබැවින් ඔවුන් මෙම "රීතියට" ඇලී සිටින බව ය.

 

"කතා නායකයා උසස් කුලයකින් පැවත එන පිරිමි කෙනෙක් වෙන්න ඕනේ. කාන්තා චරිතය සිහින් සිරුරක් ඇති ලස්සන කෙනෙක් වෙන්න ඕනේ. ඇය වචනවලට වඩා අභිනයෙන් කැමැත්ත ප්‍රකාශ කරන කෝල ස්වභාවයකින් යුක්ත වෙන්න ඕනේ. හැබැයි සරාගී පෙනුමක් එන ඇඳුම් අඳින්න ඕනේ වගේ ම, තරමක සමාජ විරෝධී ක්‍රියාවක් විධියට සැලකෙන විවාහයට පෙර ප්‍රේම සම්බන්ධයක් පවත්වන්න නම්, තරමක් හෝ නූතනත්වය වැළඳ ගත්ත කෙනෙක් වෙන්න ඕනේ."

 

තිරයේ දිග හැරෙන වෘත්තීන් පිළිබඳව පරිකල්පනය කර ඇත්තේ ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය දෙස පටු කාචයකින් බලමිනි. "මෙම චිත්‍රපටවල හමුවන ප්‍රධාන කාන්තා චරිත 42%ක් රැකියාවක නිරත වුණ ත් [එය, ඉන්දියාවේ රැකියාවක නිරත සැබෑ සංඛ්‍යාව වන 25.1%ට වඩා ඉහළ ප්‍රතිශතයකි] - ඔවුන් යෙදෙන්නේ ඉතා ඒකාකෘති වෘත්තීන්වල" මහාචාර්ය ලිංගම් පවසයි.

"පිරිමින් 10 දෙනෙකුගෙන් නව දෙනෙක් ම හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, දේශපාලනඥයන් සහ පාතාල නායකයින් වැනි විවිධ තීරණ ගැනීම් සිදු කරන භූමිකා රඟ දැක්වූවා. කාන්තාවන් බොහෝ දුරට වෛද්‍යවරුන් සහ හෙදියන්, ගුරුවරුන් සහ මාධ්‍යවේදීන් ලෙස කටයුතු කළ අතර තීරණ ගැනීමේ භූමිකා රඟ දැක්වූයේ 10 දෙනෙකුගෙන් එක් අයෙක් විතරයි," ඇය පවසයි.

මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ, LGBTQ+ චරිත නිරූපණය විශාල වශයෙන් ගැටලුසහගත ලෙස පවතින බව ය. ඔවුහු කිසි විටෙකත් තීරණ ගැනීමේ භූමිකාවක් රඟ නොදැක්වූ අතර අතර බොහෝ විට ලිංගිකත්වය පදනම් කරගෙන කෙරෙන හාස්‍යයට ලක් වන චරිත රඟ දැක්වූහ. චිත්‍රපටවල සිටි සියලු චරිතවලින් 0.5%ක ප්‍රතිශතයක් වූ ආබාධිතයන් නිරූපණය ද ඒ හා සමානව දුර්වල මට්ටමක පැවති අතර, එම චරිත බොහෝ විට යොදා ගෙන තිබුණේ අනුකම්පාව දැනවීමට හෝ හාස්‍යෝත්පාදනය යන පොදු තේමාවක් යටතේ ය.

 

"චිත්‍රපට නිෂ්පාදකයින් කියන්නේ, එයාලා පෙන්නන්නේ යථාර්ථය කියලා. හැබැයි එයාලා පෙන්නනේ නැති තවත් ඕනේ තරම් යථාර්ථවාදී සිද්ධි තියෙනවා. එහෙම වෙන එක සාධාරණීකරණය කරන්න, ඒ අය යථාර්ථය සහ ෆැන්ටසිය අතර දෝලනය වෙනවා," මහාචාර්ය ලිංගම් පවසයි.

"සිනමාවේදි අප දකින දේවල්වලින් සැබෑ ජීවිතයට ද බලපෑමක් එල්ල වෙන" නිසා කර්මාන්තය තුළ කාන්තාවන් සහ සමලිංගික, ද්වීලිංගික හා සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ගේ නිරූපණය වෙනස් විය යුතු බව ඇය තවදුරටත් පවසයි.

 

"ඉන්දියාවේ, පවුල් තුළ සහ පාසල්වල ලිංගික අධ්‍යාපනය සහ කැමැත්ත ගැන උගන්වන්නේ කලාතුරකින්. ඉතින් අපි ඒ දේවල්වලට දක්වන ප්‍රතිචාර හැඩ ගැහෙන්නේ පොත්පත්වලින් සහ සිනමාවෙන්," ඇය පවසන්නේ, කබීර් සිං වැනි චිත්‍රපටියක ප්‍රධාන චරිතයට පණ පොවන පිරිමි පුද්ගලයා එහි සිටින වීරවරිය පොළඹවා ගැනීම සඳහා ඇයව ලුහුබැඳ ගොස්, ඇයට හිරිහැර කරන ආකාරය පෙන්වීම ගැටලුවක් බව සඳහන් කරමිනි.

"එය හානිකර හැසිරීම් සහිත පුරුෂභාවය සාමාන්‍යකරණය කරනවා. ඉතින් කවුරුහරි කාන්තාවකගේ පස්සෙන් යද්දී, නැත්නම් හිරිහැර කරද්දී හැමෝම කියන්නේ 'එහෙම දේවල් වෙනවා' කියලා. ඒකට විරුද්ධ වෙන්නේ හරි කලාතුරකින්."

 dfzer

කෙසේ වෙතත්, චිත්‍රපට කිහිපයක් ආකෘතියෙන් පිට හැඩයක් ගන්නා බව ඇය පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස, මිෂන් මංගල් චිත්‍රපටයේදී විද්‍යා බාලන් පණ පොවන රොකට් විද්‍යාඥවරිය, රැකියාව වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීම සහ දරුවන් නොසලකා හැරීම සම්බන්ධයෙන් ස්වාමි පුරුෂයාගෙන් දෝෂාරෝපණයට ලක්වද්දී, දරුවන් ඔහුගේ ද වගකීමක් නොවේදැ යි ඇය ඔහුගෙන් ආපිට විමසයි.

 

'ක්වීන්' සහ 'ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා' කාන්තාවන් ප්‍රධාන චරිතවලට පණ පොවන ලද සහ ප්‍රබල කාන්තා චරිත වටා ගෙතුණු කතා වස්තුවක් සහිත චිත්‍රපට අතලොස්ස අතර විය. නමුත් තවමත් එවැනි චිත්‍රපට ඇත්තේ ඉතා අඩු ගණනකි.

 

මහාචාර්ය ලිංගම් පවසන්නේ, දෘශ්‍ය මාධ්‍ය හරහා "නව කතා වස්තු සංවාදයට ගේන්න පුළුවන්. එක රැයකින් වෙනසක් සිද්ධ වෙන්නේ නෑ. හැබැයි ඒක කාලයත් එක්ක වේවි," යනුවෙනි.

කොවිඩ් වසංගතය සහ රටවල් වසා දැමීම, ඉදිරි මාවත දැනට ම ත් පෙන්වා දී ඇති බව ඇය පවසයි. "සමාජයේ විශාල වෙනසක් සිද්ධ වෙමින් තියෙන්නේ. මිනිස්සු ඒක පෙන්වන්න විවිධ අන්තර්ගතයන් නිෂ්පාදනය කරනවා. ඕටීටී වේදිකාවල [ඉන්ටර්නෙට් හරහා වීඩියෝ අන්තර්ගතයන් සපයන සේවා. උදාහරණයක් ලෙස Netflix, Amazon Prime ආදිය] ඉහළ ප්‍රේක්ෂක ආකර්ශණයක් තියෙන සිත්ගන්නාසුළු අන්තර්ගතයන් තියෙනවා."

අනෙක් අතට, බොලිවුඩ් රීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. "සල්මන් ඛාන් සහ ආක්ෂේ කුමාර් වැනි අපේ දැවැන්ත තරු කිහිපයක් විසින් අධ්‍යක්ෂණය කරන ලද බොහෝ පුරුෂ මූලික ප්‍රචණ්ඩකාරී චිත්‍රපට එතරම් සාර්ථක වුණේ නෑ. ෂාරුක් ඛාන්ගේ පඨාන් චිත්‍රපටය විතරයි ඊට වෙනස් වුණේ."

එබැවින්, කර්මාන්තය මෙම අදහස් නැවත පරිකල්පනය කළ යුතු බව ඇය පවසයි.

 

"සාමාන්‍ය චින්තනය තමයි, ප්‍රේක්ෂකයින්ගෙන් බහුතරයක් පිරිමි නිසා ඔවුන් වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කරනවා කියන එක. අපි කියන්නේ නෑ ඒ වගේ චිත්‍රපට කරන්න එපා කියලා. නමුත් විවිධත්වයක් ඇති වන පරිදි විවිධ පරාසවල තියෙන චිත්‍රපට කරන්න."

 

බොලිවුඩයේ දෘෂ්ඨිය මෙතරම් පුරුෂමූලික වීමට එක් හේතුවක් නම්, ක්ෂේත්‍රය තුළ තිරයෙන් පිටත රාජකාරියේ නිරත කාන්තාවන් ඉතා අල්ප වීම සහ චිත්‍රපටවල ප්‍රධාන නිෂ්පාදන අංශවල පවා කාන්තා නියෝජනය අඩුවීම බව ඇය පවසයි. ටාටා සමාජ විද්‍යා ආයතනය විසින් අධ්‍යයනය කරන ලද චිත්‍රපටවල, කාර්ය මණ්ඩලවල පිරිමින් 26,300කට වැඩි පිරිසක් සිටි අතර කාන්තාවන් සිටියේ 4,100ක් පමණි.

"තිරය පිටුපස සිටින විවිධ මිනිස්සු, විවිධ වූ ප්‍රේක්ෂකයින් සඳහා චිත්‍රපට නිර්මාණය කරනවා නම්, කතා වස්තුත් විවිධාකාර වේවි," මහාචාර්ය ලිංගම් පවසයි.


ගීතා පාණ්ඩේ
බීබීසී පුවත්, දිල්ලි
(BBC සිංහල සේවය)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්