පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් එය ජාතික ජනබලවේගයට වාසිදායක බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.



ජාතික ජනබලවේගයට ජනතාව අතර පවතින ප්‍රසාදය ඉහළ බැවින් ඡන්ද විමසීම කල්දැමීමට විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.



එළඹෙන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ පළාත් පාලන ආයතනවලට සභිකයින් තේරීම සඳහාම පමණක් නොවන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවසිය.




''ඉක්මන් දිනයක් දෙන්න…'' - මාලිමාව මැතිවරණ කොමිසමේ සභාපතිට ලියයි


ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාරව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කිරීම හැකි ඉක්මනින් සිදු කරන ලෙසටත්, පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මන් දිනයක් නියම කරන ලෙසටත් සඳහන් කරමින් ජාතික ජන බලවේගයේ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත.

වර්ෂ 2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධව යොමුකර ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ.

''ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වර්ෂ 2022.12.29 දින දී පළාත් පාලන මැතිවරණ ආඥා පනත ප්‍රකාරව, රජයේ අති විශේෂ ගැසට් පත්‍ර 2312/44 ගැසට් පත්‍රය මඟින්, 2023 පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලද අතර ඉන් අනතුරුව, මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ නාම යෝජනා බාර දීම සහ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා කාල වකවානු ප්‍රකාශයට පත් කරමින් 2023.01.04 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනලදී.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව විසින් 2023 පළාත් පාලන ආයතන ජන්ද විමසීම සඳහා මැතිවරණ දිනය වශයෙන් 2023.03.09 වන දින ප්‍රකාශයට පත්කරන ලද අතර එකී මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා 2023.02.22 වන දින සිට 2023.02.24 වන දින දක්වා කාලය නම් කරන ලදී.

කෙසේ වුවද, මේ ආකාරයට මැතිවරණය සඳහා දින නියම කර තිබියදී, රජයේ මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය ඉහත මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය වන්නා වූ මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි සම්පාදනය නොකිරීම මත, මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීම, මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සඳහා අවශ්‍ය වන පොලිස් සේවය ලබාගැනීම ඇතුළුව අනෙකුත් මැතිවරණය සම්බන්ධ කාර්යයන් සිදුකිරීම ගැටලුකාරී වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ කොමිසම විසින් ඉහත කී මැතිවරණය නියමිත දින නොපවත්වන බවට නිවේදනය කරන ලදී.

කෙසේවුවද, ඊයේ දින (2023.03.03) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලද මූලික අයිතිවාසිකම් නඩු අංක SC FR 69/2023දරණ නඩුවේදී අතුරු නියෝගයක් ලබාදෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නඩුවේ පළමු වගඋත්තරකරු වන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලබන ගරු ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2023 වර්ෂය සඳහා සම්මත කරනු ලැබූ අයවැයේ දී, 2023 පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කරනු ලැබූ මුදල් රඳවා තබා ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත්කොට ඇති අතර එමෙන්ම රජයේ මුද්‍රණාලාධිපතිවරිය වෙත 2023 පළාත් පාලන මැතිවරණය සඳහා 2023 අයවැයේ දී වෙන් කරන ලද මුදල් රඳවා තබා ගැනීමකින් තොරව නිකුත් කරන ලෙසද නියෝග කර ඇත.

 

ඉහත නියෝග අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම මත එය මූලික මිනිස් අයිතිවාසිකම වශයෙන් සලකා ක්‍රියා කොට ඇති බවයි.

 

කරුණු එසේ හෙයින්, උක්ත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාරව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කිරීම හැකි ඉක්මනින් සිදු කරන ලෙසටත් එසේම, පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මන් දිනයක් නියම කරන ලෙසටත් ඔබ කොමිෂන් සභාවෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.''

 

JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්