සමස්ත ලෝක වාසී ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ, ටිබෙට් ජනතාවගේ ආධ්‍යාත්මික සහ ආගමික නායකයා වන, මානව දයා ගුණයෙන් පිරිපුන්, නොබෙල් සාම ත්‍යාගලාභී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ

88 වැනි ජන්ම දිනය 2023 ජූලි මස 6 වැනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින් සහ බැතිමතුන් ඒ ඒ රටවලදී එතුමන්ගේ ජන්මලාභය මහත් හරසරින් සමරනු ලබයි.

ශ්‍රී ලංකාවේ දී ද උන්වහන්සේගේ ජන්ම දිනය සැමරීම පිණිස අන්තර්ජාතික බහුභාෂා විද්වත් සමුළුවක් කැළණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය, සමාජ විද්‍යා පීඨය, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය, දර්ශන අධ්‍යයන අංශය මෙන්ම බෞද්ධ සහෝදරත්ව පදනම හා අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය :ෂඊක්‍* යන ආයතන හා සංවිධානවල සහයෝගීත්වයෙන් හා සංවිධානයෙන් යුතුව 2023 ජූලි මස 6 වැනිදා, දවස පුරාම කැළණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යෙදිණි.

dalai lama1

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත ගුරුසිංහ, මහාචාර්ය චන්දිම වත්තේවිදාන, ආචාර්ය චමින්ද ජී. ගමගේ, ආචාර්ය අනුරාධ මහාසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්, විවිධ රටවල්වල බෞද්ධ සංවිධාන නියෝජිතයින්, තානාපති නිලධාරීන්, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණි ගිහි පැවිදි විද්වතුන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පවත්වනු ලැබූ අතර ප්‍රධාන උළෙල කැළණිය විශ්ව විද්‍යාලයීය මානව ශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

මෙම අන්තර්ජාතික බහුභාෂා විද්වත් සමුළුවට වැඩමවා වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක අති පූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් එහිදී සිදු කළ සිය දේශනයේදී 14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් හා අප රට සම්බන්ධව ඉතා වැදගත් අදහස් දැක්වීමක් සිදු කර සිටියේය.

WhatsApp Image 2023 07 07 at 10.44.43 PM

 උන් වහන්සේ පැවසූ පරිදි 2022 වසරේදී සිය වාර්ෂික සංචාරය ආරම්භ කරමින් බුද්ධගයාවට පැමිණි ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් හමු වූ ශ්‍රී ලංකා දූත පිරිස අතර සිටි අප ගරුතර සංඝයාවහන්සේලා ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කර සිටි අතර උන් වහන්සේ එම ගෞරවනීය ආරාධනාව පිළිගත් බව ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙත ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ආගමනය සිදුවන්නේ නම් උන්වහන්සේගේ පැමිණීමත් සමඟම ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින් සහ බැතිමතුන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රබෝධයක් ඇති වනවාට අමතරව ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ බැතිමතුන් වන ඇමරිකාවේ, යුරෝපයේ, ජපානයේ, සහ තායිලන්තයේ වෙසෙන මහා පරිමාණ ආයෝජකයින් මේ සමඟම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඔවුනගේ දායකත්වය ලබාගැනීමේ කාර්යයද නිතැතින්ම සිදුවන බවය. ශ්‍රී ලංකාව තුළ මේ වන විට උද්ගතව ඇති ආර්ථික අර්බුදය සමනය කරගැනීමට එය මනා ශක්තියක් වනු නොඅනුමාන බවය.

 
ලොව්තුරු බුද්ධත්වය සඳහා පෙරුම් පුරන ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ටිබෙටයේ 14 වන දලයි ලාමාවරයා වන අතර උන්වහන්සේ ටිබෙට් ජනතාවගේ රජු හා සංඝරාජ යන පදවි ද්විත්වයම දරනු ලබයි. ඒ නිසාම ටිබෙට් දේශය එවන් සුවිශේෂී වැදගත්කමක් හිමි ලොව පළමු හා එකම රට බවට පත්ව තිබුණි. එමෙන්ම මානව දයා ගුණයෙන් හා සුපේෂල ශික්ෂාකාමී ගුණයෙන් යුත් ටිබෙට් ජනතාවගේ අධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ඉවසීම, කරුණාව, මෛත්‍රී ගුණය හා බෞද්ධ දර්ශනය පිළිබඳව මහා සාගරයක් තරම් වූ දැනුම සමස්ත ලෝක වාසී ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වී ඇත. බෞද්ධ දර්ශනය පාදක කොට ගනිමින් ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් ලියා ඇති උන්වහන්සේ පවත්වන ලද ධර්ම දේශනා ප්‍රමාණය නොගිනිය හැකි තරම්ය. තථාගත බුදුපියාණන් වහන්සේගේ මහා කරුණාව පෙරදැරිව, දැඩි අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඒ නිසාම 1989 වසරේදී සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

 WhatsApp Image 2023 07 07 at 10.44.45 PM


2023 ජූලි මස 6 වැනිදා පැවති මෙම අන්තර්ජාතික බහුභාෂා විද්වත් සමුළුවට පැමිණි පිරිස පිළිගනිමින් කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අති පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ විසින් පිළිගැනීමේ දේශනය සිදු කළ අතර මෙම සමුළු උළෙල පිළිබඳ හඳුන්වාදීමේ දේශනය බෞද්ධ සහෝදරත්ව පදනමේ ගරු සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් සිදු කරනු ලැබීය.

අනතුරුව 14 වනි ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් සිය 88 වැනි උපන් දිනය වෙනුවෙන් සිදු කළ විශේෂ ප්‍රකාශය වීඩියෝ පණිවුඩයක් මගින් මෙම සමුළු උළෙලට පැමිණි පිරිසට දැකබලා ගැනීමට හැකිවිය.
ඉන්පසු කැළණිය විශ්ව විද්‍යාලයේ ගරු උප කුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිශාන්ති ඩි සිල්වා මහත්මියගේ සුබ පැතුම් පණිවුඩය ප්‍රකාශ කිරීමෙන් පසු 14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශාසනික හා සාමාජීය මෙහෙවර පිළිබඳ කෙටි වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කෙරිණි.

 
“14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් හා එතුමන් ලොවට දායාද කළ මනුෂ්‍යත්වය” යන තේමාව යටතේ මෙම සමුළු උළෙලේ මුඛ්‍ය දේශනය ගත්කතුවර, ඉන්දියාවේ සාරානාත් හි මධ්‍යම ටිබෙට් විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගරු ගේෂේ න්ගවාන්ග් සම්ටෙන් ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී.

WhatsApp Image 2023 07 07 at 10.44.44 PM 1
මෙම අන්තර්ජාතික බහුභාෂා විද්වත් සමුළුවේ ප්‍රධාන ආරාධිත ලෙස වැඩමවා වදාළ ගම්පහ වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලයේ කුලපති, සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සාරගර්භ දේශනයෙන් අනතුරුව උළෙලේ ස්තූති කතාව කැළණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී සංජීවනී රූපසිංහ මහත්මිය විසින් සිදු කිරීමෙන් අනතුරුව උළෙලේ පූර්ව භාගයේ වැඩකටයුතු නිමාවට පත්විය.


පැමිණ සිටි සියක් නමකට අධික ගරුතර සංඝයා වහන්සේලා වෙත දහවල් දානය පිළිගැන්වීමෙන් අනතුරුව පැමිණි සම්භාවනීය අමුත්තන් ඇතුළු අනිකුත් ආරාධිතයින් දිවා භෝජනය භුක්ති විඳි අතර 14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් පිළිබඳ සාකච්ඡාමය ස්වරූයෙන් සිදු කළ විද්වත් සාකච්ඡාවකට පසු සවස් භාගයේ මෙම සමුළු උළෙලේ අවසන් භාගය ඇරඹිණි. එහිදී පිළිගැනීමේ දේශනා කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ගරු පීඨාධිපති මහාචාර්ය එම්. එම්. ගුණතිලක මහතා හා මානව ශාස්ත්‍ර පීඨයේ ගරු පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් මහතා විසින් සිදුකරන ලදී.

WhatsApp Image 2023 07 07 at 10.44.44 PM
අනතුරුව පැමිණි පිරිසට සමරු තිළිණ හා සහතික පත්‍ර බෙදාදීමෙන් පසුව කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික හා පෙරදිග භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය කේ.බී. ජයවර්ධන මහතා ස්තූති කතාව සිදුකිරීමෙන් අනතුරුව ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ 88 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු අන්තර්ජාතික බහුභාෂා විද්වත් සමුළුව සාර්ථකව නිමාවට පත්විය.

 

(බාහිර ලේඛකයකු විසිනි)

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්