වැඩි කළ විදුලි බිලට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීම සඳහා විදුලි බල අමාත්‍යංශයට අසළට පැමිණීමට සුදානම් වන ‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ ට එරෙහිව

ආඥාවක් නිකුත් කරන්නැයි ජා-ඇල” කඳාන” වත්තල සහ මහබාගේ පොලිස්ථානාධිපතිවරු කළ ඉල්ලීමක් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන ඊයේ (31) ප්‍රතික්‍ෂෙප කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මහජනතාවගේ භාෂණයේ” රැස්වීමේ” නිදහසේ ගමන් බිමන් යෑමේ නිදහස ආරක්‍ෂා කිරමට අධිකරණය බැඳී ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා, අදාළ පාගමනට එක්වන ජනතාව සාමකාමී තත්වයය කඩ කරනු ලැබුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ඇති බවත් පෙන්වා දුන්නේය.

ජා-ඇල පොලිස්ථානාධිපති චමින්ද එදිරිසුරිය, කඳාන පොලිස්ථානාධිපති ගාමිණී සෙනරත් හේවාවිතාන, වත්තල පොලිස්ථානාධිපති අනුර ගුණවර්ධන සහ මහබාගේ පොලිස්ථානාධිපති සුභාෂ් ප්‍රියදර්ශන වෙන වෙනම වාර්තා 04ක් අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩි කළ විදුලි බිලට එරෙහිව විදුලි බල අමාත්‍යංශයට අසළදී විරෝධතාවයක් පැවැත්වීම සඳහා පිරිසක් දිවුලපිටිය නගරයෙන් අද (01) උදෑසන 8.00ට පිටත්වීමට කටයුතු සුදානම් කොට ඇතැයි දැනුම් දුන්හ.

''මහ විනාශයක් වෙන්න ඉඩ තියනවා'' 

‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ නමින් නම් කොට ඇති මෙම පාගමනට සම්බන්ධ පිරිස මිනුවන්ගොඩ, ඒකල, ජා-ඇල, කඳාන, මහබාගේ සහ වත්තල නගර පසුකර විදුලි බල අමාත්‍යංශයට අසළට පැමිණීමට සුදානම් වන බවටද ඔවුන් පන්දම් දල්වා ගෙන මෙම විරෝධතා පාගමනට එක්වන බවටද බුද්ධි තොරතුරු ලැබී ඇතැයිද ඔවුන් පසුකරන තම පොලිස් බල ප්‍රදේශවල ඉන්ධන හල් 20කට වැඩි ප්‍රමාණයක් ඇතැයිද දැනුම් දුන් පොලිස්ථාධිපතිවරු විරෝධතාකරුවන්ගේ පන්දම් හේතූවෙන් ඉන්ධන හල් ගිනිගෙන විශාල විනාශයක් වීමට හැකියාව ඇතැයිද සඳහන් කළහ.

මෙම විරෝධතා පාගමන හේතූවෙන් කොළඹ මීගමු මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග අවහිර වීමට හැකියාව ඇති බවත් එසේ වුවහොත් එම මාර්ග භාවිතා කරන සාමකාමී ජනතාවට පීඩා ඇතිවිය හැකි බවත් ජනතාවගේ දෛනික කටයුතු වලට බාධා විය හැකි බවත් ජාතික ආර්ථිකයට හානි විය හැකි බවත් සඳහන් කළ පොලිස්ථානාධිපතිවරු විරෝධතා පාගමන හේතූවෙන් පොදු දේපළ පනත” මංමාවත් පනත” පොලිස් ආඥා පනත” දණ්ඩ නීතී සංග්‍රහය” උල්ලංඝණය විය හැකි බවත් පෙන්වා දුන්හ.

එහෙයින් මෙම විරෝධතා පාගමන සංවිධානය කරන ''සසුන රැකුමේ ගෝලීය සංසදයේ'' කැඳවුම්කරු බලංගොඩ කාශ්‍යප හිමි, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික, ජාතික පුරවැසි උපදේශන සංගමය සහ පාගමනට සම්බන්ධ වන සියළුම ජනතාවට එරෙහිව මෙම විරෝධතා පාගමන මෙම පොලිස් බල ප්‍රදේශවල නොපැවැත්වීමට ආඥාවක් නිකුත් කරන්නැයි පොලිස්ථානාධිපතිවරු ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා පැමිණීලිකාර පොලිස්ථානාධිපතිවරු මෙම ආඥාව ඉල්ලා ඇත්තේ අනාගතයේ විය හැකි ක්‍රියාවක් සම්බන්ධයෙන් බවත් අනාගතයේ විය හැකි ක්‍රියාවක් අධිකරණයට තීන්දු කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය

පොලිස්ථානාධිපතිවරු ඉල්ලා ඇති මෙම ආඥාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මහජනතාවගේ භාෂණයේ, රැස්වීමේ, නිදහසේ ගමන් බිමන් යෑමේ නිදහස සමඟ සෘජුවම ගැටීමක් වන බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා, විරෝධතා පාගමනට සම්බන්ධ වන ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සාමාකාමි තත්වය කඩ කරනු ලැබුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ඇති බව අවධාරණය කරමින් ඒ අයුරින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ඇති බවත් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් පෙන්වා දුන්නේය.

(lankadeepa.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්