ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා දරුණු සහ අසීරුම ලෙස කඩා වැටුණු වසර 2022 ආර්ථිකය නැවත මේ වන විට ස්ථාවර වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. 


සංඛ්‍යා ලේඛන දත්ත ගෙනහැර දක්වමින් ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය අද (10) ඉදිරිපත් කරමිනි.

රජය විසින් දේශිය සහ විදේශීය වශයෙන් ලබා ගන්නා ණය සහ අරමුදල් කළමනාකරණය කිරිම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීම, බැංකු හා බැංකු නොවන මූල්‍ය අංශ බිඳ වැටීම වැළැක්වීමට නව අණ පනත් හඳුන්වා දීම, ත්‍රස්ත්‍රවාදයට අරමුදල් සැපයීම සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සිදුකරන අතරම ආර්ථික වර්ධනයක් සමගින් රටේ සමස්ථ ආර්ථිකයේ ස්ථායිකරණය ඇති කිරීමේ 2024 වාර්ෂික මූල්‍ය ප්‍රතිපත්ති පෙර දැක්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් අද (10) ඉදිරිපත් කළේය.

කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවැති වසර 2024 ආර්ථික මූල්‍ය ස්ථායිකරණ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පෙර දැක්ම ඉදිරිපත් කළ මහ බැංකු අධිපතිවරයා, මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස 2ක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ද එහිදී පැවසිය. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා වසර 2024 මැතිවරණ වසරක් ලෙස හැඳිනගෙන තිබීම, ඉහළ බදු අනුපාත පවත්වාගෙන යාම, දේශීය වශයෙන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග බවත්, විදේශීය වශයෙන් රුසියා යුක්ක්‍රේන යුද්ධය, ඊශ්‍රායල පලස්තීන යුධ ගැටුම ඇතුලු අභියෝග ගණනාවකට මුහුණ දෙමින් වුව රටේ සමස්ථ ආර්ථිකය ස්ථායිකරණයක් ඇති කිරීම ඉලක්ක කොට ප්‍රතිපත්ති දැක්ම ඉදිරිපත් කරන බව කීය.

 

වසර 2022 දී ඉන්ධන, විදුලිය, ගෑස් පොලිම් වැනි දුෂ්කරතා රාශියක් මැද ජන ජීවිතය ගෙන යාමට මහජනතාවට සිදුවූ තත්ත්වය වලක්වා ගනිමින් මේ වන විට විදේශ විනිමය අනුපාත ස්ථාවර කර ගැනීම, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියලෙහි අගය පසුගිය වසරේ සියයට දොළහකින් අවප්‍රමාණය කර ගැනීම, වසර 2023 තුන්වන සහ හතරවන කාර්තුවේ ආර්ථිකය ධන මට්ටමකට ගෙන ඒම, සියයට හැත්තෑව ඉක්මවා තිබූ උද්ධමනය ඉකුත් වසරේ නොවැම්බර් මාසය වන විට සියයට තුනයි දශම නමය දක්වා පහළ දැමීම, පොලී අනුපාත අඩු කිරීම ඇතුලු ආර්ථික ස්ථායිකරණ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට සමත්වී ඇති බවද අධිපතිවරයා කීය.

 

මේ ආකාරයට ආර්ථික වශයෙන් බිඳවැටුනු රටක් යළි ශක්තිමත්ව නඟා සිටුවීමට යාමේදී මුහුණ දිය යුතු ඉතාම අසීරු සහ අභියෝගාත්මකම තත්ත්වයන්ට මුහුණ දෙමින් වුව ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස නව මහ බැංකු පනතින් පත් කිරිම, ශ්‍රී ලංකා රජය සහ මුදල් අමාත්‍යංශය රජයේ වියදම් හැකි තරම් සීමා කරමින් මනා මූල්‍ය කළමනාකාරීත්වයක් පවත්වාගෙන යාම තුළින් මෙම ස්ථාවරත්වය ගොඩනගා ඇතැයිද ඔහු කීය.

ශ්‍රී ලංකා රජයේ ණය කළමනාකරණය සඳහා අලුතින් ස්වාධින ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ පනත මේ වසරේ මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටත් එම ආයතනය මෙම වසරේ දෙසැම්බරයේදී ආරම්භ කිරිමටත් ඉලක්ක කොට ඇතැයිද අධිපතිවරයා කීය.

මේ වන විට බදු ප්‍රතිපත්තියෙහි සිදුකළ වෙනස්කම් නිසා උද්ධමනය අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා විශාල ලෙස ඉහළ යාම වලක්වාලමින් සියයට පහ- හය සීමාවේ රඳවා ගනිමින් රුපියල ශක්තිමත් කර ගනිමින් හඳුන්වාදෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සමග පෙරට යාමට ඔබ අප ඇතුලු සියලු වගකිවයුත්තන් සහ රට වැසියන් ක්‍රියාකිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කළේය.

 

රටේ විදේශ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන හතර දක්වා වැඩි කර ගැනීමට සමත්වී ඇත. බැංකු සහ බැංකු නොවන මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ දිරි ගැන්වීමට, ප්‍රාදේශීය සංවර්ධනය ඇති කිරිමට ශ්‍රී ලංකා මහ බැංකුවේ උපරිම සහය ලබා දීම සම්බන්ධයෙන්වූ ක්‍රියාමාර්ග සහ උපාය මාර්ගික වැඩපිළිවෙල අධිපතිවරයා ඉදිරිපත් කළේය.

 

මේ වන විට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගෙන ඇති එකඟතා අනුව දේශීය ණය ප්‍රශස්තිකරණය, විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය සහ ස්වෛරීත්ව බැඳුම්කර ණය හිමියන් සමග ඒවා ප්‍රතිව්‍යුහගත කරණය පිළිබඳව තීරණාත්මක තීන්දු ගණනාවක් ගැන යහපත් ප්‍රතිඵල අත්කරගෙන ඇති බවද කීය.

මෙලෙස ඇතිකර ගත් එකඟතා කෙටි කාලීන ඒවා නොව වසර දහය සහ ඊටත් එහා විය හැකි බව පැහැදිලි කළ අධිපතිවරයා වත්මන් රජය නොව කවුරු රට පාලනය කළද ඔවුන්ටද එම එකඟතාවයන් සමග කටයුතු කිරිමට සිදුවන බව දැඩිව පෙන්වා දුන්නේය.

බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන වලින් ලබාගෙන තිබෙන ණය නිසියාකාරව ආපසු ගෙවීමට ක්‍රියා නොකරන පිරිසට එරෙහිව ඒවා අයකර ගැනීමට සාධාරණ නීති රීති පද්ධතියක් අවශ්‍ය බව අධිපතිවරයා කීය.

 දැනට පවතින පරාටේ නීතියෙහි සංශෝධන සිදුකළ යුතු නම් ඒවා සිදුකරමින් වුව තැන්පත් කරුවන්ගේ මුදල්වල ආරක්ෂාව සහතික කිරීමට එම නීතිය ක්‍රියාත්ම කිරිම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් අධිපතිවරයා මෙහිදී නැඟූ පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි, නියෝජ්‍ය අධිපතිවරු, සහකාර අධිපතිවරු, මෙරට බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ විධායක නිලධාරීහු, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්