මේ මස දෙවැනි දා පාන්දර ම මා ලංකාවට පැමිණි අතර, ගමනේ වෙහෙස ද නොතකා එදින ම සවස හතරයි තිහට රඟ දැක් වූ චාමර ගුරුගේගේ 'අප අතර ඌ' නාට්‍යය එල්ෆින්ස්ටන් රඟහලේ බැලීමට ගියේ, කලකින් ලංකාවේ නාට්‍යයක් බැලීමට අවස්ථාවක් නොලද බැවිණි
(එය විශිෂ්ට නාට්‍යයක් වූ අතර ඒ ගැන වෙන ම සටහනක් ලිවිය යුතු ය).
නාට්‍යය නරඹා රඟහලෙන් පිටවන විට, හතේ දර්ශනය සඳහා දන්නා හඳුනන කිහිප දෙනෙක් ම පැමිණ සිටිය හ. ඉන් එක් අයෙකු වූයේ ප්‍රවීණ නිළි බිම්සරා ප්‍රේමරත්න යි. ආගිය තොරතුරු විමසූ බිම්සරා පැවසූයේ, ඈ ඔසේජ් කවුන්ටි නමින් ඉංග්‍රීසි නාට්‍යයක් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරන බවත් එය පෙබරවාරි 22 සිට 25 දක්වා ලයනල් වෙන්ඩ්ට් හී වේදිකා ගත වන බව යි.
පනස් හයේ පෙරළියත් සමග එළඹුණු දශකයෙන් පසු ව, ද්වීභාෂිකත්වය ලංකාවේ කෙමෙන් අඩුවෙන්න පටන් ගත් අතර, මා සිතන හැටියට, එහි ප්‍රතිඵලයක් ලෙස, නාට්‍ය කලාව ද ඉංග්‍රීසි සිංහල ලෙස පීලි දෙකක වෙන වෙනම යන්නට ගත්තේ ය. දශක තුන හතරක් යන විට, මේ ධ්‍රැවීකරණය කෙතරම් දරුණු වූවාද කියතොත්, ඉංග්‍රීසි හා සිංහල නාට්‍ය ක්ෂේත්‍ර පැවතියේ එකිනෙකට වැරදිලාවක්වත් අභිමුඛ නොවන දුරස්ථ ග්‍රහලෝක දෙකක් ලෙසිණි. අධ්‍යක්ෂකවරුන් ද නළු නිළියන් ද පමණක් නොව, ප්‍රේක්ෂක පිරිස ද ග්‍රහලෝක දෙකේ එකිනෙකා නොහඳුනන ජීවී කොට්ඨාශ ලෙස කල් ගත කළ හ. නාට්‍ය නිෂ්පාදනයට අවැසි සම්පත් හා අනුග්‍රහකත්වයේ ධ්‍රැවීකරණය අන් සියල්ලකට වඩා තීව්‍ර වූයේ ය. ඉහළ පෙළේ බැංකු හා ව්‍යාපාර නොමසුරු ව ඉංග්‍රීසි ග්‍රහලෝකයට අනුග්‍රහකත්වය සැපයූ අතර සිංහල නාට්‍ය ග්‍රහලෝකය කණකර උගස්කරමින් දස අතේ ණය වී, අවසානයේ පාඩු ද ලබමින් අසීරුවෙන් භ්‍රමණය විය. ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනයක රිප්රෙස්මන්ට්ස් බජට්ටුවකින් සම්පූර්ණ සිංහල නාට්‍යයක් නිෂ්පාදනය කළ හැකි බව ක්ෂේත්‍රයේ කියැවෙන්නේ හුදු අතිශයෝක්තියක් ලෙස ම නොවේ.
මේ ග්‍රහලෝක දෙකේ වෙනසක් සටහන් වූයේ 1998, ඉංග්‍රීසි නාට්‍ය ග්‍රහලෝකයේ මනාව ස්ථාපිත ව සිටි උභය ජීවියෙකු වූ ජෙරොම් ද සිල්වා, ෂේක්ස්පියර්ගේ මැක්බත් කෘතිය සිංහල නිෂ්පාදනයක් ලෙස කළ අවස්ථාවේ ය. නළු නිළියන් පනස් හතරක් හා නිෂ්පාදන කණ්ඩායමේ හතළිස් හයක් එකල පැවැති ඉහළ ම තාක්ෂණය යොදාගෙන කළ මේ නිෂ්පාදන බජට්ටුව සිංහල වේදිකාවේ එතෙක් නොවූ විරූ පරිමාණයේ එකක් විය. නළු නිළියන් ලෙස තෝරා ගැනුනේ සිංහල ග්‍රහලෝකයෙන් පැමිණි අත්දැකීම් සහිත හා රහිත ජීවීන් ය. නිෂ්පාදන කණ්ඩායමට ග්‍රහලෝක දෙකේ ම ජීවීන් එක වාගේ කළු ටී ෂර්ට් හැඳ උරෙනුර ගැටී වැඩ කළ හ. මැක්බත් ලයනල් වෙන්ඩ්ට් හී දින දහයක් දිගට ම වේදිකා ගත වූ (මෙය ද සිංහල නාට්‍ය ග්‍රහලෝකයට පුරුදු දෙයක් නොවේ) අතර එය නරඹන්නට පැමිණි ප්‍රේක්ෂක ට්‍රැෆිකයේ සාමාන්‍යයෙන් සිංහල නාට්‍යයක් බලන්න නොඑන එනමුත් තම සම ග්‍රහලෝකවාසී ජෙරම්ගේ වැඩක් නිසා බලන්නට ආ පිරිස ද විය. මින් සිදු වූයේ, ඉංග්‍රීසි ප්‍රේක්ෂකයින්ට සිංහල නළු නිලියන් කියා කොටසක් පවතින බව දැන ගැනීම පමණක් නොව එම නළු නිළියන්ට තම ප්‍රේක්ෂකාගාරය පුළුල් කරගන්නට හැකි වීම යි. ජෙරම් ගේ මේ මැදිහත්වීම සාධනීය දෙයක් ලෙස පිළිගත යුතු ය. එහෙත් එය සිංහල නාට්‍ය ග්‍රහලෝකයට කළ කරුණාබරිත (benevolent) දායකත්වයකට ඔබ්බට යා හැකි දෙයක් සිදු වුවා ද කියා විචාරය කළ යුතු ය.
ඉහත සඳහන් කළ අත්දැකීමේ බලපෑමක් නිසා හෝ එසේ නොමැති ව, 1999 ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ, ට්‍රෝජන් කාන්තාවෝහි රඟපෑම සඳහා (මීනා කුමාරී, අනෝජා වීරසිංහා හා යශෝධා විමලධර්මට අමතර ව) ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රකට නළුවෙක් හා නිළියක් වු පිළිවෙලින් ජෙහාන් ඇලෝසියස් හා වොනිටා බේලින් එක් වූ හ. මොවුන් දෙදෙනාගේ සිංහල රඟපෑම නැරඹීම සඳහා සිංහල ප්‍රේක්ෂකාගාරයට නුපුරුදු පිරිසක් පැමිණි බවත්, ඔවුන් දෙදෙනා කර්ට්න්කෝලයට පැමිණෙන විට ඒ පිරිස හුනස්නෙන් නැගිට අත්පොළසන් දුන් (standing ovation) බවත් මා අසා ඇත.
යට කී ප්‍රේක්ෂක ට්‍රැෆිකය ප්‍රාමාණික ව හරවා ගත්තේ රාජිත දිසානායක ය. 1995 වසරේ සිට ලයනල් වෙන්ටයේ නාට්‍ය රඟ දක්වන රාජිතට මුල් අවුරුදු දහයේ පමණ සිටියේ අඩු වැඩි වශයෙන් සිංහල ග්‍රහලෝකවාසී ප්‍රේක්ෂාගාරයකි. එහෙත් 2008 වසරේදී රාජිත නිෂ්පාදනය කළ 'ආපසු හැරෙන්න බෑ' නාට්‍යයේ අන්තර්ගතය හෝ ඉදිරිපත් කිරීම හෝ ඒ දෙක ම, ඉංග්‍රීසි ග්‍රහලෝක වාසී ප්‍රේක්ෂක අතලොස්සකට ද තරමක් දුරට ආකර්ෂණයක් විය. මේ හැරවුණු පොඩි ට්‍රැෆිකය, යම් සැලකිය යුතු ජෑමයක් බවට පත් වූයේ, 2011 වසරේ රාජිත 'බකමූනා වීදි බසී' නාට්‍යය වේදිකා ගත කිරීමත් සමඟ ය. බහුතරය නොවුනත්, සාමාන්‍යයෙන් සිංහල නාට්‍යයකට නොයන ඉංග්‍රීසි නාට්‍ය ග්‍රහලෝකවාසී පිරිසක්, රාජිතගේ ප්‍රේක්ෂකාගාරයේ නිත්‍ය ලැගුම්කරුවෝ බවට පත් වූ හ. මේ ට්‍රැෆිකය තවත් පුළුල් වූයේ, ප්‍රේක්ෂකයන් පමණක් නොව නාට්‍ය ග්‍රහලෝකයේ සිටි නළු නිළියන් පිරිසක් ද, පාර පැන, සිංහල නාට්‍ය ග්‍රහලෝකයට ගොඩවීමත් සමග ය. මා අසා ඇති අන්දමට, ඔවුන් මුලින් රාජිතගේ නාට්‍ය බලා, යම් පැහැදීමකින් කතා බහ කර, පසුව දෙපැත්තේ ම කැමැත්ත අනුව, පාර පැන්න බව ය.
මුලින් ම පාර පැන්නේ ගිහාන් ද චිකේරා බව කියැවේ. 2013 රාජිතගේ 'ආදර වස්තුව' නාට්‍යයේ ප්‍රධාන භූමිකාවක් රඟපෑවේ පෑවේ ගිහාන් ය. ඊට වසරකට පෙර ද, ගිහාන් රාජිතගේ මුල් නිෂ්පාදන (මට වෙඩි තියන්න, වීරයා මැරිලා) නැවත නිෂ්පාදනය කළ විට ඒවායේ ගිහාන් රඟපෑවේ ය. මේ ප්‍රවණතාවයේ ම දිගුවක් ලෙස 2015 වසරේ නිෂ්පාදිත 'සිරිවර්ධන පවුලේ' රඟපෑමට පසන් රණවීර හා චරින්ද්‍ර චන්ද්‍රසේන ද 2016 වසරේ නිෂ්පාදිත 'නැතුවම බැරි මිනිහෙක්' හී රඟපෑමට බිම්සරා ප්‍රේමරත්න වැනි එතෙක් ඉංග්‍රීසි වේදිකාවේ සිටි කිහිප දෙනෙක් රාජිත සමඟ එකතු වූ හ.
මේ ආකාරයට ඉංග්‍රීසි ග්‍රහලෝකවාසීන් පිරිසක් ප්‍රේක්ෂකයන් හා නළු නිළියන් ලෙස සිංහල නාට්‍යාගාරය දෙසට යම් ට්‍රැෆිකයක් නිර්මාණය කළත්, එය බොහෝ දුරට 'වන්-වේ' එකක් ම විය. වෙනත් වචනයකින් කියොතොත්, ඉංග්‍රීසි නාට්‍යාගාරයට සැලකිය යුතු සිංහල ග්‍රහලෝකවාසී ආගමනය වුණේ නැති තරම් ය.
මෙය යම් තරමකට හෝ වෙනස් වියහැකි යැයි අනුමාන කළ හැක්කේ බිම්සරාගේ අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනයෙන් ඉදිරිපත් කෙරෙන නව නාට්‍ය නිසා ය. බිම්සරා ඒ පැත්තෙන් මේ පැත්තට ආවා ද නැත්නම් මේ පැත්තෙන් ඒ පැත්තට ආවා ද කියා පැහැදිලිව අපට තේරුම් ගත නොහැකි මට්ටමට ග්‍රහලෝක දෙකේ ම නිතර දෙවේලේ ගැවසෙන කෙනෙකු බවට පත් වී ඇත. ඇයගේ නිර්මාණ ක්‍රියාකාරීත්වය නාට්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවේ. ටෙලි නාට්‍ය හා සිනමා නිළියක ලෙසත් ද්විභාෂික පූරකවරියක ලෙසත් බිම්සරා මැනවින් ස්ථාපිත වී ඇත. බිම්සරාගේ නාට්‍ය ප්‍රචාර කටයුතුවල, අවධාරණයෙන් කියා සිටියේ, සාමාන්‍ය ඉන්ග්‍රීසි චිත්‍රපටියක් බලා රසවිඳින ඕනෑ ම කෙනෙකුට තමන්ගේ නාට්‍ය නරඹා රසවිඳිය හැකි බව ය. මෙවැනි ආරාධනයක් ඉංග්‍රීසි ග්‍රහලෝකයෙන් අනෙක් ග්‍රහලෝකයට කළ අවස්ථාවක් මට නම් සිතා ගැනුම අපහසු ය.
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )