කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යන පාඨමාලාවක දේශනය සඳහා ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට ආරාධනා කිරීම පිළිබඳ ව සමාජ මාධ්‍යයේ වැඩි
කතාබහට ලක් විය.
මගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඇති සාම්පලයේ වැඩියෙන් කතාබහ කරන අයගේ මතය වූයේ අදාළ ව්‍යාපාරිකයා කුප්‍රකට අයෙකු නිසා සරසවියට වද්දා ගත යුතු නැති බව ය.
මීට පැයකට දෙකකට පෙර මා සජීවී ප්‍රවාහයකින් (මේ සමග ෂෙයාර් කර ඇති) දුටුවේ තරුණයන් දහ දොළොස් දෙනෙක් පමණ ඩඩ්ලි සිරිසේන කැටුව එන මෝටර් රථය නවතා විනාඩි පහළොවක් පමණ ඔහු විශ්ව විද්‍යාලයේ දේශනයක් කිරීමට නොසුදුසු කෙනෙක් බවට කරුණු දැක්වීම ය.
කතා කළේ එක ශිෂ්‍යයෙක් පමණක් වූ අතර, අනිත් අය සහයෝගය දෙමින් ළඟින් සිටි බවක් දක්නට ලැබිණ.
කථිකයා මතුකළ කරුණු කොටස් දෙකකට බෙදිය හැක .
1) ඩඩ්ලි සිරිසේනගේ හාල් ව්‍යාපාරය අසාධාරණ ලෙස කරන එකක් වීම නිසා ජනතාව ඉන් පීඩාවට පත්වීම හා
2) විශ්ව විද්‍යාලයේ පඩි ලබන ආචාර්යවරුන් සිටිද්දී පිටින් දේශකයන් ගෙන්වීම පිළිගත හැකි නොවීම.
දහ දොලොස් දෙනෙකු වුව ද ශිෂ්‍යයන්ගේ දැඩි විරෝධය ඉදිරියේ සිරිසේනගේ වාහනය යෑමට නොහැකි ව රැඳී තිබෙනු දක්නට ලැබුණු අතර, වරින් වර සිරිසේන ද ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු යැයි සිටිය හැකි පුද්ගලයෙකු ද වරින් වර වාහනයෙන් එළියට අවුත් විරෝධතාවය දක්වන ශිෂ්‍යයන් බලමින් සිටිය හ.
ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් යැයි විය හැකි කිහිප දෙනෙකු ද විරෝධතාවය දක්වන ශිෂ්‍යයන් සමඟ කතා බහේ යෙදුණු දක්නට ලැබිණ. ගුරු පාර්ශ්ව ද්වය ම සාමකාමී අන්දමින් සංවාදයේ යෙදිණ. සජීවී ප්‍රවාහය ඒ අවස්ථාවේ කුමන හෝ හේතුවකට අවසන් විය.
සජීවී ප්‍රවාහය යන අතර කොමෙන්ටු, හාරත හා ලයික දහස් ගණනින් දක්නට ලැබිණ. ඉන් අති බහුතරයක් හෝ මුළුමනින් ම වාගේ මේ ක්‍රියාව අනුමත කරමින් හා ඒ ක්‍රියාවෙන් දැඩි උද්දාමයට පත් වී විරෝධතාවයේ යෙදුණු සිසු පිරිසට තම සුබ පැතුම් සහ ආශිර්වාදය පළ කළ හ.
මා මුලින් සිතුවේ ආරාධිත දේශකයාට දේශනය කිරීමට නොහැකි වන ලෙස අවහිරතාවයක් ඇතිවූ බවකි. එතැන සිටියේ ශිෂ්‍යයන් දහ දොළොස් දෙනෙක් වුවත් එම අවහිරතාවය සාර්ථක ලෙස කළ ලෙසයි මට සජීවී ප්‍රවාහයෙන් තේරුම් ගියේ. ආරාධිත දේශකයාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් ගුරුවරුත් යම් පරාජිත හා අපහසුකාරී තත්ත්වයකින් සිටින බවයි මට හැඟුණේ. කුඩා වුවද සිසු පිරිස අතර පැවතියේ යම් ජයග්‍රාහී ආකල්පයක් බවයි මට තේරුනේ.
එහෙත් මට පසුව වාර්තා වූයේ, ආරාධිත දේශකයා සැලසුම් කළ පරිදි තම දේශනය කළ අතර, ඉන් අනතුරු ව සංවිධායකයන් සමග සුළු තේ පැන් සංග්‍රහයකට ද සහභාගී වී පිටවන විට යි අප සජීවී ප්‍රවාහයෙන් දුටු සිදුවීම සිදුවී ඇති බව.
අස්පයා පැනගිය පසු ඉස්තාලය වසා දමන්නේ ඇයි ද කියා වපර ඇහෙන් බලන කෙනෙකුට කිව හැකි වුවත් මා මෙතන දකින්නේ සාධනීය දෙයකි. ඊට කළමනාකරණ විෂයේ කියන්නේ වින්-ව්න් තත්ත්වයක් කියා ය. එනම් දෙපාර්ශ්වය ම ජයග්‍රහණය කළ බවයි. දෙක ම කරගන්න බෑ, එකක් හැර අර්ථ ගැන්වෙන ඉංග්‍රීසි ඉඩියමයක් වන Can't have the cake and eat it too යන්න වුව ද අද හවස කැලණියේදී සාවද්‍ය වූ බව ද කිව හැක.
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක