නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජනාධිපති නීතිඥවරයකු හැටියට පත්කිරීම ගැන දේශපාලන හා සමාජ මාධ්‍ය

අවකාශයේ විවිධ අදහස් පළවනු දකින්නට ලැබේ.

උපුල් කුමරප්පෙරුම මහතා, අනිද්දා පුවත්පත පවත්වාගෙන යන අනිද්දා පබ්ලිෂර්ස් ගරන්ටි ලිමිටඩ් සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකි. එපමණක් නොවේ, 2018 ජනවාරි අගදී, පුවත්පතක් (පසුව, ‘අනිද්දා’) ඇරඹිය යුතුයැයි තීරණය කළ අවස්ථාවේ පටන්, ඒ සඳහා අවශ්‍ය මූලික අරමුදල් එකතුකර ගැනීමේදීත්, උපකරණ සපයාගැනීමාදි සෑම කටයුත්තකදීමත් පුරෝගාමි වී, අත්‍යන්තයෙන්ම කැපවී වැඩ කළ කෙනෙකි. ඒ සියල්ලටමත් වඩා, අනිද්දාහි ගෞරවනීය මිත්‍රයෙකි. අනිද්දා වෙත යම් ගෞරවයක් තිබේ නම්, එහි විශාල කොටසක් උපුල් කුමරප්පෙරුමටද අයත්ය.


කුමරප්පෙරුම මහතා ජනාධිපති නීතිඥයකු ලෙස පත්කිරීම ගැන පවතින අදහස් හුවමාරුව සම්බන්ධයෙන් යමක් කිව යුතුයැයි අප කල්පනා කළේ, ජනාධිපති නීතිඥකම යනු කුමක්දැයි නොදන්නා පිරිසක්ද, තවත් නීතිඥවරුන් පිරිසක්ද, තමන් හැර මුළු ලෝකයම ආදර්ශවත් විය යුතුයැයි දෙසන යූටියුබ් මාධ්‍යකාරයන් කෙනකු දෙන්නකුද, ආචීර්ණ කල්පික පාරිශුද්ධවාදී මතවාදවල යහමින් එල්ලී සිටිනා ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ ඇතැම් සාමාජික උදවියද මේ සම්බන්ධයෙන් නන් දොඩවමින් සිටින නිසාය.

ජනාධිපති නීතිඥ යනු නම්බුනාමයකි. එවැනි අයකුට, රජයෙන් හෝ වෙනත් කිසිම ආයතනයකින් කිසිවක් නොලැබේ. එහෙත් එය, (රජයේ හෝ පෞද්ගලිකව වෘත්තියේ යෙදෙන) නීතිඥවරයකුට/වරියකට ලැබිය හැකි ඉහළම ගෞරවනාමයයි. සිය වෘත්තීය විශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන්ට රාජ්‍ය නායකයා හෝ නායිකාවගෙන් ලැබෙන ගෞරවනාමයක් ලෙස එය සැලකිය හැකිය.


ජනාධිපති නීතිඥවරයකු හෝ වරියක පත්කිරීමට හැක්කේ රටේ ජනාධිපතිට පමණි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ව්‍යවස්ථාවෙන් බලය දී තිබේ. එහි මෙසේ කියයි. ‘නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වයට පත්ව ඇත්තා වූ ද, පැවැත්මෙහි හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙහි උත්කෘෂ්ඨ තත්ත්වයක් පවත්වාගෙන ඇත්තා වූ ද නීතිඥවරයන් ජනාධිපති නීතිඥවරයන් වශයෙන් පත් කිරීමට බලය ඇත්තේ ය. මේ ඡේදය යටතේ පත් කරනු ලබන සෑම ජනාධිපති නීතිඥවරයකුටම ඒ දක්වා රාජ නීතිඥවරයන් විසින් භුක්ති විඳින ලද සියලු වරප්‍රසාදවලට හිමිකම ඇත්තේ ය.’ මෙහි සඳහන් ආකාරයටම, 1978 ව්‍යවස්ථාව සමග ජනාධිපති නීතිඥවරුන්/වරියන් පත්කෙරුණත්, 1978 ව්‍යවස්ථාවට පෙර ව්‍යවස්ථාවලින් පත්කෙරුණේ රාජ නීතිඥවරුන්/රැජිණ නීතිඥවරුන්ය.


ඉහත ව්‍යවස්ථාවේ තිබෙන පරිදි, ජනාධිපති නීතිඥවරුන්/වරියන් ලෙස පත්කළ යුත්තේ සිය වෘත්තියේ විශිෂ්ටත්වයට පත් අයයි. මෙහිදී, ඒ ඒ ජනාධිපතිවරුන්ගේ අභිමතය බලපාන බව නොකිවමනාය. ඒ නිසා බොහෝ විට සිදුකෙරුණේ, එම පත්වීම ලැබීමට සුදුසුනම් ඇති අයද පත්කරන අතරම, තමන්ගේ දේශපාලන හෝ වෙනත් වුවමනාකම් මත, නුසුදුසු තවත් පිරිසකටද ජනාධිපති නීතිඥ පත්වීම් ලබාදීමය. මේ නිසා, ජනාධිපති නීතිඥ පත්කිරීම් බරපතළ විවේචනයන්ට ලක්වන එකක් බවටද පත්විය. එහි නරකම තත්වයක් ඇතිවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාලයේය. 2017-2019 කාලයේදී ඔහු විසින් පත්කරන ලද ජනාධිපති නීතිඥවරුන් ගණන 75කි. ඇත්ත වශයෙන්ම වෘත්තීය විශිෂ්ටත්වයෙන් යුක්ත කිහිප දෙනකු පත්කරන අතර, කිසිසේත් ජනාධිපති නීතිඥකමට නොගැළපෙන පිරිසක්ද ඒ කාලයේදී වරින් වර හෙතෙම පත්කළේය.

මේ පත්කිරීම් නීති ක්‍ෂෙත්‍රයේදී මෙන්ම මහජන අවකාශයේදීද බලවත් විවේචනයට ලක්විය. නිසි සුදුසුකම් නැතිව ජනාධිපති නීතිඥවරුන් බවට පත් උදවියට, අධිකරණ ක්‍ෂෙත්‍රයේදී මහත් අපහසුවකට මුහුණ දෙන්නට සිදුවුණු බවද නොරහසකි. එහි ප්‍රතිඵලය වුණේ, සිරිසේන මහතා තවත් නීතිඥවරුන් 50කට ආසන්න පිරිසක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරන්නට පියවර ගෙන තිබියදි, ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා නිසි මාර්ගෝපදේශ සකසන්නට නියම කරන ලෙස ඉල්ලා නීතිඥ උපුල් කුමරප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමයි. එම පෙත්සමේ මුල් අවස්ථාවේදී සිරිසේන ජනාධිපතිවරයා පත්කරන්නට නියමිතව සිටි එම නීතිඥවරුන්ගේ පත්කිරිම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබිණ. පසුව එම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමය අනුව, එවකට ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, ජනාධිපති නීතිඥවරුන් තෝරාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් 2019 ඔක්තෝබර් 29 වැනිදා, අංක 2147/ 37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කළේය.

ඉන්පසු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවූ විට, එම පරණ ගැසට් එක අවලංගු කරමින්, එවකට ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර විසින් නොවැම්බර් මස 24 දා අංක 2255/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදි. ඊට අනුව, ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ කෙටියෙන් මෙසේය.


ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වන; නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති සහ පැවැත්මේ සහ වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙහි උත්කෘෂ්ට තත්ත්වයක් පවත්වාගෙන යන; ලංකාවේ ඕනෑම අධිකරණයක නීති තර්ක තුළින් සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති හෝ නීතියේ උන්නතිය උදෙසා නීති තර්ක තුළින් සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති හෝ රාජ්‍ය අංශයේ හෝ ලංකාව තුළ හෝ ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක හෝ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නීති විෂයයෙහි විශේෂඥයකු ලෙස සුවිශේෂ සහ විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති හෝ ලංකාවට කීර්තියක් හෝ ගෞරවයක් අත්කර දී ඇති; සෑම අවස්ථාවකදී ම යහපත් චරිතයකින් සහ කීර්තිනාමයකින් යුක්ත වන; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති; නීතියේ ආධිපත්‍යයට හෝ අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන හෝ බිඳහෙළන කිසිදු ක්‍රියාවක නිරත වී නොමැති; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විනය නියෝගයකට ලක්කර නොමැති සහ අධිකරණයක් විසින් වෘත්තීමය පැහැර හැරීමක් හෝ අකටයුත්තක් සඳහා වරදකරු කර නොමැති සහ බුන්වත් නොවූ සහ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු නොවූ සහ රථ වාහන ආඥාපනත යටතේ සුළු වරදකට හැර දේශීය හෝ විදේශීය අධිකරණයක් විසින් කිසිදු වරදකට වරදකරු කර නොමැති නීතිඥවරයකු ජනාධිපති නීතිඥවරයකු/වරියක හැටියට පත්කළ හැකිය.


ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත්වීම සඳහා වූ අයැදුම්පත ඉදිරිපත් කිරීමට පෙර, අවම වශයෙන් අවුරුදු පහක කාලයක් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, ආදායම් බදු ගෙවන්නෙකු වශයෙන් ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකු විය යුතුය. නීතිය සහ/හෝ නීති පද්ධතිය පිළිබඳ ග්‍රන්ථ, ලේඛන ප්‍රසිද්ධ කර තිබීම, ජාතික හෝ ජාත්‍යන්තර සමුළු සඳහා පත්‍රිකා ඉදිරිපත් කර තිබීම, ජාතික හෝ ජාත්‍යන්තරව පිළිගත් ආයතන මගින් නීතිය පිළිබඳ වැඩිදුර හදාරා තිබීම, පිළිගත් උසස් අධ්‍යාපන ආයතන තුළ නීති විෂයය උගන්වා තිබීම, නීතියේ නව අවකාශයන් පිළිබඳ යාවත්කාලීන වූ දැනුම සහිත වීම සහ අර්ථවත් ලෙස වෘත්තියට දායකත්වය සපයන කනිෂ්ඨ නීතිඥවරුන් පුහුණු කර තිබීම, ජනාධිපති නීතිඥයන් පත්කිරීමේදී අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ. නොතාරිස්වරයකු ලෙස සේවයේ යෙදී සිටීම නුසුදුසුකමකි.

අවම වශයෙන් වසර 20ක කාලයක් තුළ නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කර නොමැතිනම් ජනාධිපති නීතිඥයෙකු වශයෙන් පත් නොකළ යුතුය. කෙසේ වෙතත්, විශේෂිත අවස්ථාවන්හිදී අනෙකුත් සියලුම නිර්ණායකයන් සපුරා ඇති, වසර 15ක සේවා කාලයක් සහිත නීතිඥවරයන් ද පත්කිරීමට සලකා බැලිය හැකිය.

වසරකට පත්කරනු ලබන ජනාධිපති නීතිඥයන්ගේ සංඛ්‍යාව 10 නොඉක්මවිය යුතුය. ජනාධිපති නීතිඥවරයකු ලෙස පත්වීම නීතිඥවරයකුගේ අයිතිවාසිකමක් ලෙස නොසැලකිය යුතුය.

තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියකින් පසුව ජනාධිපති නීතිඥයින් ලෙස පත්කිරීමට යෝජිත පුද්ගලයින් පිළිබඳව අග්‍රවිනිශ්චයකාරවරයාගේ සහ නීතිපතිවරයාගේ මතය ජනාධිපතිවරයාට විමසිය හැකිය.

අවසන් දිනයක් දක්වමින්, ජනාධිපති නීතිඥයන් පත්කිරීම සඳහා අදාළ අයැදුම්පත් රජයේ ගැසට් නිවේදනයක් මඟින් කැඳවනු ලැබේ. ප්‍රමාදවී ලැබෙන අයදුම්පත් භාර ගනු නොලැබේ.’

මේ විධිවිධාන අනුව යමින්, මෙවර ජනාධිපති නීතිඥවරුන් හැටියට පත්වීමට 1400කට ආසන්න නීතිඥවරුන්/වරියන් ප්‍රමාණයක් අයැදුම්පත් ඉදිරිපත් කළ බව දැනගන්නට තිබේ. හිටපු අගවිනිසුරු කේ ශ්‍රීපවන්ගේ සභාපතිත්වයෙන් යුක්ත තුන්දෙනකුගේ කමිටුවක් විසින් අයැදුම්පත්‍ර කෙටි ලැයිස්තුගත කිරීමෙන් පසු අවසානයේ දැනට නම් කර තිබෙන දසදෙනා තෝරාගෙන තිබේ.


උපුල් කුමරප්පෙරුම මහතා ජනාධිපති නීතිඥවරයකු හැටියට නම්කෙරුණේ මේ අසීරු තෝරාගැනීමේ ක්‍රියාවලිය හරහා යමින්, ඉහත කී නිර්ණායකවලින් සැලකිය යුතු කොටසක් සම්පූර්ණ කිරීමෙනි. කිසිවකු පස්සේ නොගොස්, කිසිවකු ලවා වචනයකින්වත් තෝරාගැනීමේ ක්‍රියාවලියට බලපෑමක් නොකරමිනි. නීති වෘත්තීය ක්‍ෂෙත්‍රයේ කුමරප්පෙරුම මහතා කර ඇති දායකත්වය ඉතා ඉහළය. ඊට අමතරව, මහජනතාවට යුක්තිය ලබාදීමට අවශ්‍ය අවස්ථාවල නොපැකිළව ඉදිරිපත් වෙමින්, සමහර විට නොමිලේ සේවය ලබාදෙමින්, උසාවිය තුළ මෙන්ම උසාවියෙන් පිටතදීද මිනිස් අයිතිවාසිකම් කතිකාව දියුණු කිරීම සඳහා සක්‍රිය ලෙස මැදිහත් වෙමින් ඔහු කර ඇති දායකත්වය, බොහෝ දෙනා හොඳින්ම දනිති. ජාතික ජන බලවේගයේ මුල් පෙළේ ක්‍රියාකාරී වෘත්තිකයකු හැටියට ඔහුගේ දායකත්වය ඊට අමතරවය.


ජනාධිපති නීතිඥවරයකු වීමට අයැදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. එහෙත්, ඒ අයැදුම්පත ඉදිරිපත් කළ 1400ක පමණ පිරිසකින් 10 දෙනකු අතරට තේරීම කුමරප්පෙරුම මහතාගේ වෘත්තීය විශිෂ්ටත්වය නිසාම සිදුවූවකි. අධිකරණ ක්‍ෂෙත්‍රයේ විනිසුරුවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ නීතිඥවරුන් දක්වා බොහෝ අය ඒ ගැන සාක්‍ෂි දරනු ඇත.

මෙවැනි පරීක්‍ෂාකාරී ක්‍රියාවලියක් තුළ වුවද, මෙවර පත්වී ඇති සමහරුන් ඊට නියම ලෙසම සුදුස්සන්දැයි ඇතැමකුට සාධාරණ ප්‍රශ්නයක් පැනනැගිය හැකිය. එවැනි අයද මේ දහදෙනාගේ ලැයිස්තුවේ නැත්තේ නොවේ. ඒ අය ගැන සමාජයෙන් විශාල විරෝධයක් එන බවක් නොපෙනෙන්නේ, ඔවුන් ගැන බොහෝ දෙනකු නොදන්නාකම නිසාත්, ඔවුන් සමාජයේ කිසියම් ඉහළ තීරු නියෝජනය කරන නිසාත් විය හැකිය. ඒ වෙනුවට සමහරකුට ප්‍රශ්නය වී ඇත්තේ, ජාතික ජන බලවේගයේ උපුල් කුමරප්පෙරුම නීතිඥවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම් කිරීමෙන් ජනාධිපති නීතිඥවරයකු වීමයි. ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමේ පරිචයවත් නොදන්නා සමහර මාධ්‍යකරුවන්ට අනුව එය රනිල්-අනුර ඩීල් එකකි. හුදෙක් තම දේශපාලන ක්‍රියාකාරිකයකුට ජනාධිපති නීතිඥකමක් ලබාගැනීම සඳහා, සියලු දේශපාලන ස්ථාවරයන් පසෙක තබා රනිල් වික්‍රමසිංහ සමග අනුර දිසානායක ඩීල් එකකට යාවියැයි සිතන්නෝ කවර අමනොඥයෝද? එහෙත් පත්තර පිටුවල මුසා වපුරන්නන්ට එය අමුත්තක් නොවේ.

මේ අවස්ථාවේදී (ඇත්ත වශයෙන්ම දෙදෙනකු හැරෙන්නට) පත්කළවුන් ඊට සුදුස්සන් බව දකින්නට තිබේ. තමා නිර්දය ලෙස විවේචනය කරන ජාජබෙහි ප්‍රමුඛයකුට ජනාධිපති නීතිඥකම ප්‍රදානය කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා පියවර ගැනීම ඔහුගේ හොඳ ලක්‍ෂණයකි. මෙවැනි අස්ථාවක් වෙනත් ජනාධිපතිවරයකුට ඇතිවුණු නම්, සිදුවිය හැකිව තිබුණු සරලම දේ වූයේ අදාළ නීතිඥවරයාගේ නම ලැයිස්තුවෙන් කැපීයෑමයි.


කුමරප්පෙරුම මහතා ජනාධිපති නීතිඥවරයකු වීමෙන් ඔහු මෙතෙක් කාලයක් කරගෙන ආ, වෘත්තීය, සමාජ, දේශපාලන ක්‍රියාකාරකම් තව තවත් ඉදිරිගාමී හා ශක්තිමත් වනවා මිස අබමල් රේණුවකින්වත් ආපස්සට යෑමක් සිදු නොවන බව අපේ අත්දැකීමෙන්ම කිව හැකිය. ඔහු එවැනි තිරසාර පුද්ගලයෙකි. එහෙත් ජවිපෙ හා ජාජබ සාමාජිකයන් සමහරකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් මේ පත්කිරීම ලැබීම අවුලක් ඇතිකර තිබෙන බව පෙනේ. ඒ අය අතර ඉන්නා සමහරුන් මීට පෙර විවිධ අවස්ථාවල, විශේෂයෙන් සිරිසේන ජනාධිපතිවරයාගෙන් ජනාධිපති නීතිඥකමට ඉල්ලුම් කර, එය නොලැබුණු අය බවද කිව යුතුය.


ඔවුන්ගේ තර්කය අනුව බලන විට, කොතරම් සුදුසුකම් තිබුණද, කවරදාකවත් කුමරප්පෙරුම මහතා වැන්නකුට ජනාධිපති නීතිඥකම ලබාගත නොහැකිය. මන්ද යත්, ජවිපෙ නායකයකු හැර වෙනත් ඕනෑම ජනාධිපතිවරයකු ජවිපෙ/ජාජබට දේශපාලන සතුරකු වන නිසාය. සතුරාගෙන කිසිවකු ලැබිය නොහැකිය. ජවිපෙ නායකයා ජනාධිපති වී කුමරප්පෙරුම මහතා ඔහුගෙන් ජනාධිපති නීතිඥකම ලදොත්, එය යහළුවන්ට සැලකීමක් වනු ඇතෟ ඒ අනුවම සිතතොත්, ජාජබහි ඉන්නා විශ්වවිද්‍යාල ඇදුරකුට, ජාජබ ජනාධිපතිවරයකුගෙන් මිස විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු ලෙස පත්වීමක් ලද නොහැකිය. ජාජබයේ සිටින පරිපාලන නිලධාරියකුට, අමාත්‍යාංශ ලේකම්වරයකු විය නොහැකිය.

කුමරප්පෙරුම මහතා වැනි කෙනෙකු තම පක්‍ෂයේ, ජන බලවේගයේ සාමාජිකයකු වීම ගැන සතුටුවී තම දේශපාලන ව්‍යාපාරයට ඔහු දැනටමත් කරමින් සිටින සුවිශාල දායකත්වය තවත් හොඳින් ලබාගන්නවා විනා, පරණ කාලයේ පාරිශුද්ධවාදී තර්ක ඉදිරිපත් කරමින් ඔහුට අවලාද නැගීම හා විරෝධය පෑම වෙතින්, ජාතික ජන බලවේගයේ නීතිඥ වරිගසභාවේ ඇතැමුන්ගේ වෘත්තීය කුහකත්වය මෙන්ම පක්‍ෂයේ එවැනි සෙසු ක්‍රියාකාරිකයන්ගේ, ඊනියා යූටියුබ්කාරයන්ගේ හා ඇතැම් ‘දේශපාලන විචාරකයන්ගේ’ දේශපාලන කුහකත්වයද කියාපාන බව නම් සටහන් කර තැබිය යුතුය.

(නීතිඥ කේ ඩබ්ලිව් ජනරංජන)
ප්‍රධාන කර්තෘ 'අනිද්දා' පුවත්පත 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. From your Google contacts">This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image