මේ ලිපිය ලියන දිනය එනම් 2024 ජනවාරි 21වෙනිදිනට රුසියානු බෝල්ෂෙවික් පක්ෂ නායක

ව්ලැඩිමීර් ලෙනින් උල්වානිච් මියගොස් අවුරුදු 100 සපරාලනු ලබයි.

ඔවුන්ගේ නායකත්වය යටතේ බිහිවූ බෝල්ෂෙවික් පක්ෂය විසින් 1917 දී රුසියාවේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව එහි නායකත්වයට පැමිණි ලෙනින් විසින් ගෙනඑනලද සමාජවාදී වැඩපිලිවෙල ලෙනින් මියගිය පසු ඉදිරියට ගිය ආකාරයත් ඒ වැඩපිළිවෙල 1989දී විනාශවුනු ආකාරයත් විග්‍රහ කිරීමේදී විශේෂයෙන් ලෙනින්ගේ කාර්‍යභාරය ද්විඝඨනාත්මකව හඳුනාගත යුතුව ඇතිබව අපගේ හැඟීමයි.

ලාංකීය වාමාංශිකයින්ගේ ආදාහනාග්‍රාහී (dogmatic) ආස්ථානයට අනුවත්, ලාංකීය "වම" තුල මුල්බැසගෙන ඇති අධිපති මතවාදය අනුවත්, ලෙනින් යනු උත්කර්ෂයට නැංවියයුතු, සියවසේ මිනිසා ලෙස අවිවාදිතව පිලිගතයුතු මෙන්ම සුරුවමක් ලෙස පාවිච්චිකලයුතු ශ්‍රේෂ්ඨ වීර චරිතයකි.


එහෙත් වාමාංශිකයින් ලෙස අප අද කලයුතුව ඇත්තේ ලෙනින්ට ඇති අනුරාගය පසෙකලා, තියුනුලෙස නිරීක්ෂණයට භාජනයකොට, සංවාදයට භාජණයකොට ඔහු විසින් රුසියාව නැමති පරීක්ෂණාගාරය තුලදී බෝල්ෂෙවිකවාදය නැමැති මූලද්‍රව්‍ය යොදාගෙන "සමාජවාදය" නැමැති ප්‍රතිපල  අපේක්ෂාවෙන් කරනලද පරීක්ෂණය මුළුමනින්ම අසාර්ථක වූයේ ඇයිදැයි සොයාබැලීමයි. එය ලෙනින්ට හෝ වමට කරන ද්‍රෝහිකමක් නොව එකතැන ලැගසිටින සහ න්‍යායාත්මක අවුලක පැටලී ඇති  ලාංකීය වාමාංශික ව්‍යාපාරය මින් ගලවාගැනීමට එය උපකාර වනු ඇති බැවිනි.


එදා පැවති සන්දර්භය තුලදී ලෙනින්ලාට බලපෑ විෂයමූලික කොන්දේසි වලට අමතරව ආත්මමූලික කොන්දේසි සහ ආත්මීය ආශාවන්ද විශ්ලේෂණය කරනොගෙන ඒගැන විද්‍යාත්මකව වටහාගැනීමක් ලාංකීය වාමාංශිකයින් හට ලබාගැනීම උගහට වනු ඇත. එහෙත් බටහිරට වන්නට බෝල්ෂෙවික් වාදය ගැනමනා වැටහීමක් ඇතිව බොහෝ විද්වතුන් ඔවුන්ගේ විශ්ලේෂණ ඉදිරිපත්කොට ඇතිමුත් ලංකාවේ රුසියානු පරිවර්තන ලෙස රුසියාවේ "ප්‍රගති ප්‍රකාශණ මංදිරය" හරහා ආප්ප බානවා මෙන් ස්ටාලින්වාදයේ බලපරාක්‍රමයට යටහත්ව කීකරුව ලියනලද බොහෝ ග්‍රන්ථ සහ ලියකියවිලි බෝල්ෂෙවික් වාදයට මෙන්ම ස්ටැලින්වාදයටද එකසේ සේවය කරන ලදී.

ඒවා බොහොමයක් සිංහලට පරිවර්ථනය කොටඇත්තේද ලාංකීය බෝල්ෂෙවික් වරු විසින් වීමද, තවත් සමහරු රූබල් වලින් යැපෙමින් ඒවා ලියූ බැවින්ද ඇත්තවශයෙන්ම එදා රුසියාවේ සිදුවූයේ මාක්ස් සහ එංගල්ස් විග්‍රහකල ආකාරයේ සමාජවාදී සමාජ ක්‍රමයක්දැයි අප විසින් ලෙනින් මියගොස් වසර 100 ක් ගොස් ඇති මොහොතේදීවත් නිවැරදිව හඳුනාගත යුතුවේ.

 මේ විශේෂයෙන් "ලාංකීය වම" මුහුණපා ඇති බරපතල න්‍යායාත්මක ගැටළුවලට යම් සාධනීය පිළිතුරු සොයාගැනීමට ඇති අවකාශ පුළුල්කරගැනීමට මිස ධනේශ්වර වියතුන් ලියන ආකාරයේ නිෂේධාත්මක අදහසක් වාම වැඩපිලිවෙලට එරෙහිව පැලකිරීමට නම් නොවේ.

xcfgrdt4
ලෙනින් දේශපාලනයට පිවිසීමත් එක්තරා අහම්බයකි. උල්වානොව් පවුලේ ලෙනින්ගේ වැඩිමහල් සහෝදරයා වුනු ඇලෙක්සැන්ඩාර් හෙවත් "සාෂා" එවකට 1886 දී තුන්වන ඇලෙක්සැන්ඩර් සාර් රජු බෝම්බ පුපුරුවා ඝාතනයට තැත්කිරීමේ චෝදනාව මත එල්ලාමැරීමට නියමවුනු තැන් සිට ඔහුව එල්ලා මැරීම දක්වාත් ඉන් ඔබ්බටත් මධ්‍යම පාංතික පවුලක් වුණු උල්වානොව් පවුල මුහුණදුන් ඉතාභයංකර තත්වය තුලදී ඔවුනට සාර් රජු කෙරෙහි තිබූ කෝපයද හේතුකොටගෙන පසුකලෙක ලෙනින්ගේ සොයුරියක වුනු මාරියා පැවසූ පරිදි ලෙනින් තම වැඩිමහල් සහෝදරයාගේ වියෝව නිසා ඇතිවූ දැඩි කම්පනයම ලෙනින් සාර් සමඟ සිය ගණුදෙණුව බේරාගැනීමේ අරමුණින්ම එවක ඔහු 17 හැවිරිදි වියේදීම දේශපාලනයට පිවිසුනු බවයි.


මෙය හුදෙක් විෂයමූල තත්වයන් තුල මෙය විග්‍රහකරගැනීමට වඩා ලෙනින්ගේ ආත්ම මූලික කාරණයක් ලෙස සාර් පැන්නීම තම එකම අරමුණ ලෙසත්, එය හඹායාමේ යාන්ත්‍රණය ලෙස බෝල්ෂෙවික් වාදය භාවිතා කලබවත් එක් අතකට යමෙකුට තර්ක කලහැකිය. මෙය මනෝවිෂ්ලේශණාත්මකව සැලකූවහොත්, යමෙකුගේ ශරීරයේ පිටතින් තුවාලයක් ඇතිවූවිට එයට බෙහෙත් කර සුවකරගතහැකි වූවද, ඔහුගේ අභ්‍යන්තරයේ ඇතිවන තුවාලයක් එසේ පහසුවෙන් සුවකල නොහැකිවාක් මෙන්ම පසුව මෙකී තුවාලය විසින් මෙකී පුද්ගලයාගේ drives මෙහෙයවනු ලබයි.

ඒ ආකාරයට ගත්විට තම සහෝදරයා මරාදැමීමට අණදුන් සාර් රජුගෙන් එහි පලිය ගැනීමට ලෙනින්ගේ මේ ඇතුලත තුවාලය ඔහුව මෙහෙයවූවා වියහැකිය. එසේ කෙනෙකුට තර්ක කිරීමටද හැකියාව ඇත්තේ ලෙනින් විසින් පසුකලෙක ගත් බොහෝ ක්‍රියාමාර්ග මෙන්ම “පූර්ණකාලිකයා”  බිහිකිරීමේ ක්‍රියාවලියද ඇතුළුව බොහෝදේ සාර් පළවාහැරීම මූලිකවම පෙරදැරිකරගෙන ගත් ක්‍රියාමාර්ග වීමයි.

පසුකලෙක රුසියාවේ බලය ලබාගත්පසු සාර් පවුලේ ඉරණම තීන්දු කිරීමේදී එම ක්‍රියාවලිය පිටුපස සිටි ප්‍රභලම හස්තය ලෙනින් විය. මෙන්ෂවික් වරු බලයට පත්වී සාර් පවුල ආරක්ෂාකරමින්ද, ඔවුනට නිසි ගෞරවය ලබාදෙමින්ද, කෙරෙන්ස්කිලාගේ අදහස වූයේ සාර් රජපවුල වැඩිආරක්ෂාව සඳහා එංගලන්තය වැනිරටකට යැවීමට වූවද බෝල්ෂෙවික්වරු බලයට පැමිණි වහාම සාර් රජපවුලට සපයනලද සියළුම පහසුකම් නවතා දමන ලද අතර, ඔවුනට වෙන්කරවූ ඉස්තරම් වයින් ප්‍රමාණයද අසලවූ ගඟට හලමින් මුළු සාර් පවුලම යූරල් දක්වා ගෙනගොස් යූරල්වල පක්ෂ කමිටුව වෙත සාර් පවුලේ ඉරණම ගැනීමට තීන්දු ගැනීමේ "බලය" පැවරීමෙන් එයමනාව පැහැදිලිවේ.

sdfgser3e3
යූරල් (Ural) පළාතේ බෝල්ෂෙවික් පක්ෂ කමිටුවේ සභාපතිව සිටි බෙලබොරඩොව් (Beloborodov) සහ යූරල් පළාතේ බෝල්ෂෙවික් පක්ෂ හමුදා කොමිසාර් වරයාවුනු ෆිලිප්ට (Filip Goloshchekin) ටත්වඩා වැඩිබලයක් ඒ පළාතේ සාර් රජපවුල රඳවාගෙන සිටි යකටරින්බර්ග්වල (Yekaterinburg) වල පිහිටි ආන්ඩුකාර නිවස භාරවසිටි බෝල්ෂෙවික් කමාන්ඩර් වරයා වුනු යාකොව් යුරොව්ස්කි ( Yakov Yurovsky) හට ලබාදී තිබූනි. ඔහු ඉහතකී දෙදෙනාට වඩා නිළබලයෙන් අඩුවූවද, යාකොව්ට ලෙනින්ගෙන් කෙලින්ම උපදෙස් ගැනීමේ බලයද, ලෙනින්ව කෙලින්ම මුණගැසීමේ බලයද තිබිනි.


එසේම සාර් රජපවුල ඝාතනය කිරීමට දින කීපයකට කලින් යාකොව් විසින් ලෙනින්ව මුණගැසී ඇතිබවද ඉතිහාසඥයන් විසින් අවධාරණය කරයි. එසේම සාර් රජපවුල ඝාතනය මුළුමනින්ම ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් නායකත්වයේ තීරණයක් නොව එය හුදෙක්‍ යූරල් පළාතේ ප්‍රාදේශීය බෝල්ෂෙවික් කමිටුවේ තීරණයක් මත සිදුකෙරුණ ලද්දක් බවට ලෙනින්ලා එය ඌණනය කරදක්වා සාර් ඝාතනයෙන් ලෙනින්ලා නිදහස් වූයේ ඇයි?

මෙයින් අප අදහස් කරනුයේ එදා පැවති සංදර්භය තුල සාර් ඝාතනයට ලෙනින්ලා ගත් තීරණය හරිද වැරදිද කීමනොවේ. සාර්ව අධිකරණයකට කැඳවා ඔහුගේ වැරදිවලට දඬුවම් දීමට ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නොහැකිවීම විශාල අඩුපාඩුවක් බව පෙන්වා දීමටය.


තවත් කරුණක් නම්, 1902 දී පැවති පක්ෂ දෙවැනි සම්මේලනයේදී ඇතිවුනු බෝල්ෂෙවික්-මෙන්ෂවික් බෙදීයාමයි. 1903 දී බ්‍රසල්ස් සහ එංගලන්තයේ පැවති රුසියානු සමාජ ප්‍රජාත්‍රන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ දෙවන සම්මේලනයේදී ලෙනින් සහ ජූලියස් මාටොව් දෙපිලකට බෙදී එතැන් පටන් බලවේග දෙකක් බවට පත්වූයේ සම්මේලනය තුලදී පක්ෂ සාමාජිකයාගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇතිවූ ආරවුල සමනය කරගැනීමට නොහැකිවීමෙනි.


එහෙත් හොඳින් කරුණු පරීක්ෂාවේදී පැහැදිලිවන දෙයක් නම් පක්ශ සාමාජිකයා යනු කවරෙක්ද සහ ඔහුගේ භූමිකාවන් සම්බන්ධ කාරණා  පිලිබඳව එකඟත්වයකට ඒමට නොහැකිවීම යනු යම් පක්ෂයක් දෙකඩවී මහා හතුරන් ලෙස දෙපාර්ශවයකට වෙන්වී ගමන් කිරීමට හේතුවක් වියහැකිද? මේ සරලකාරණාවල් විසඳා ගැනීමට නොහැකිව ඔවුන් බෝල්ෂෙවික් සහ මෙන්ෂවික් ලෙස බෙදී ගියේද?

නමුත් ඉතිහාසඥයන් පෙන්වාදෙනු ලබන්නේ මේ දෙවැනි සම්මේලනයට සහභාගිවීමටත් කලියෙන්ම මාටොව් සහ ලෙනින් දැඩි අමනාපයෙන් යුතුව මේ සම්මේලනයට සහභාගිවූ බවයි. එයට එක් හේතුවක් ලෙස නිකොලායි බව්මන් ගේ ප්‍රශ්නය ඉතිහාසඥයෝ මතුකරති. නිකොලායි බව්මන් යනු පක්ෂය වෙනුවෙන් ඉස්ක්‍රා පුවත්පත් කංඩායමේ වැඩකල ලෙනින්ගේ දැඩි අනුගාමිකයෙකි. ඔහු පක්ෂයේ තවත් සාමාජිකයෙකුගේ බිරිඳක් සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇතිඅතර එය වැඩිකලක් යාමට මත්තෙන් අනෙකුත් පක්ෂ ක්‍රියාධරයින් හට දැනගන්නට ලැබීමෙන් ඉහතකී කාන්තාවට ඇතිවූ අපහසුතාවයට මුහුණදීගත නොහැකිව සියදිවි හානිකරගත්තාය. එහෙත් ඉන්පසුවත් කිසිවක් සිදුනොවූ පරිද්දෙන් නිකොලායි බව්මන් සුපුරුදුලෙස පක්ෂයේ වැඩකටයුතු කරගෙන ගිය අතර, ඉහතකී කාන්තාවගේ සැමියා විසින් තම බිරිඳගේ මරණය සම්බන්ධව නිකොලායි වගකිව යුතු බැවින් පක්ෂ නායකත්වයෙන් ඔහුට විරුද්ධව විණය පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටින ලදී.


klshdklfds
මෙහිදී ලෙනින් විසින් නිකොලායි බව්මන් පිළිබඳව විනය පරීක්ෂණයක් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරනලද අතර එමසිදුවීම හුදු පෞද්ගලික කාරණයක් බැවින් එය කමිටුවේ සැලකිල්ලටවත් ගතනොහැකිබව පැවසීය. එහෙත් ඉස්ක්‍රා පුවත්පතේ 1900 සිටම අනෙක් කර්තෘවරුන් වූ වේරා සසුලිච්, ඇක්සල්‍ රඩ් සහ මාටොව් සිටි ස්ථාවරය වූයේ නිකොලායිව පක්ෂයෙන් නෙරපිය යුතු බවයි. එහෙත් ලෙනින්ගේ මතයේම ප්ලෙහනොව් ද සිටිබැවින් මාටොව්, ඇක්සල්රඩ් සහ සසුලිච් හට ඔවුන්ගේ මතය ඉදිරියට ගෙනයාමට නොහැකිවිය. එහෙත් මාටොව් තේරුම් ගත්තේ නිකොලායි පක්ෂයෙන් නෙරපීමට ලෙනින් මැලිවන්නේ නිකොලායි ලෙනින්ගේ දැඩි අනුගාමිකයෙක් නිසා බවයි.


මෙම බහින් බස් වීම සමගම ඇතිවූ විරසකය දෙවන සම්මේලනය තුලදීද ලෙනින් සහ මාටොව් අතර බල අරගලයක් බවට හැරීගිය අතර එහි ප්‍රතිපලය වූයේ බෝල්ෂෙවික් සහ මෙන්ෂවික් ලෙස මෙම පක්ෂය දෙකට බෙදී ගොස් දැඩි හතුරන්ලෙස දෙපිරිස දේශපාලන කටයුතු වෙන වෙනම ඇරඹීමයි. මෙයද ලෙනින්හට මගහැරගතව තිබූ කරුණක් ලෙස අපට මතුකිරීමට අවශ්‍ය කරුණකි.

මෙසේ බොල්ෂෙවික් සහ මෙන්ෂවික් ලෙස බෙදී නොගියානම් බොහෝවිට මෙන්ෂවික්වරු ලෙස සිටි මාටොව් ඇතුළු ඉතා දියුණු දැක්මක් තිබූ ක්‍රියාධරයින් ඉන් ඉවත් නොවන අතර අවාසනාවකට අවසානයේ  බෝල්ෂෙවික් ලෙස ලෙනින්ට ඉතා දැඩි අනුගාමිකයින් පිරිසක් පමණක් ඉතුරුවිය.

තවත් ලෙනින් විසින් මතුකල කාරණයක් නම්, ජාතික විමුක්ති අරගල හරහා සමාජවාදය ගොඩනැගීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රස්තූතය ඉදිරිපත් කිරීමේ කාරණයයි. මේ ජාතික විමුක්ති අරගල හරහා සමාජවාදය උදාකරගැනීම මාක්ස්වාදය තුල මාක්ස් හෝ එංගල්ස් ප්‍රස්තූත කරනලද ප්‍රවාදයක් නොව, ලෙනින් විසින් ලෙනින්වාදය තුල ගොඩනගණ ලද්දකි. පසුව ලාංකික වාමාංශිකයින් පවා ඒවා අනුගමනය කරන ලද්දේ "මාක්ස්-ලෙනින්වාදය" ලෙසිනි. ලෙනින් විසින් මෙය ඉදිරිපත් කරනවිට ඒ ඒ රටවල් අධිරාජ්‍යවාදීන් ගේ විලංගුවලින් මිදීමට ඒ ඒ රටවල නිර්ධන පංතිය ඒවායේ ධනපති පංතියට සහාය ලබාදී ජාතික විමුක්ති අරගල ජයගත යුතුබවත් ඒ ජාතික විමුක්ති අරගලවල ජයග්‍රහනයන් සමගින් ඒ ඒ රටවල ධනපතියන් අභිබවා නිර්ධන පංතියවෙත බලය ලබාගෙන සමාජවාදය කරා යායුතු බවත් ආසන්න ලෙස ලෙනින්ගේ අදහස විය.


මේ අදහස සහිත ලෙනින්ගේ කථා සහ ලියකියවිලි ඇතුලත් කල පොතක් ලෙස "පෙරදිග ලෝකයේ ජාතික විමුක්ති ව්‍යාපාරය" මැයෙන් පොතක්ද පසුකලෙක මුද්‍රණය විය. එහි සඳහන් කොට ඇතිපරිදි, මෙම ජාතික විමුක්ති ව්‍යාපාර මගින් අධිරාජ්‍යවාදීන් ගේ විලංගුවෙන් මිදීමට ගෙනයන යුද්ධ ප්‍රගතිශීලී මෙන්ම "විප්ලවවාදී" වනබවට ලෙනින් අවධාරණය කරණු ලබයි. එහෙත් ලෙනින් මියගොස් අවුරුදු 100ක් පිරී ඇතත් පෙරදිග ලෝකයේ තබා අපරදිග ලෝකයේවත් කිසිදු රටක ජාතික විමුක්ති ව්‍යාපාරයන් මගින් සමාජවාදය අත්පත් කොටගත් රටක් නොපවතී. යාන්තමට හෝ ලෙනින්ගේ මේ ප්‍රවාදය සනාථකිරීමට අවශ්‍ය අයෙකුට අහුලාගැනීමට ඇත්තේ වියට්නාමයේ වියට්කොංවරු විසින් ප්‍රංශ සහ ඇමරිකන් අධිරාජ්‍යවාදීන් ගෙන් එය මුදාගෙන හෝචිමින් සහ ජනරාල් ගියෙප් ලා බිහිකල වියට්නාමයයි.


එහෙත් අදවනවිට වියට්නාමයේ සිදුවන්නේ සමාජවාදයට වඩා ධනේශ්වර ප්‍රතිසංස්කරණ බව නොදන්නා කෙනෙකු නොමැති ය. වියට්නාමයේ විශාලම අපනයන මිළදී ගන්නා වන්නේද අදවනවිට ඇමරිකාවයි. වියට්කොං වරු යනු දැන් වියට්නාමයේ සංචාරකයින්ට යුද්ධයේ නටබුන් පෙන්නා මුදල් හොයන කෞතුකාගාර වල අඩුක් කොටඇති අඩුම කුඩුම පමණි.

එපමණක් නොව ඉන්දියාවේ විමුක්ති අරගලයේදීද අවසානයේ ඉදිරියට පැමිණියේ ඉන්දියානු ධනපති පංතියයි. ලංකාවේ නිදහස් සටනේ ප්‍රතිපලද මීට වෙනස් නොවීය. ඉන් අනතුරුව ලංකාවේ ඇතිවූ දේශප්‍රේමී අරගලවලින් පසුව නැවත බලයට ආවේද චන්ද්‍රිකා ප්‍රමුඛ දේශීය ධනපති කංඩායමයි. වෙනකක් තබා මෑතකදී ගෝඨභය පැන්නීමෙන් පසුවත් බලයට ආවේ ධනපති නියෝජිතයා මිස සමාජවාදය ගොඩනැගීමට වෙහෙසවුනු කංඩාය නම් නොවේ. මේ අනුව ලොවේ කොතැනක සලකා බැලුවද ජාතික විමුක්ති අරගල හරහා සමාජවාදය ගොඩනැගීම කලහැක්කක් නොවීය. එබැවින් ලෙනින් මේ මතුකල ජාතික විමුක්ති අරගල තුලින් සමාජවාදය සාක්ෂාත් කරගැනීමේ ප්‍රවාදය අත් හැරීමේ කාලයත් ඉකුත්වී ඇතිබව පැහැදිලිවම කිව යුතුය.

තවත් විශේෂ කාරණාවක් නම්, බෝල්ෂෙවික් වාදය ස්ටැලින්වාදය බවට රූපාන්තරණය වීමයි. ලාංකික වාමාංශිකයින් මෙන්ම ලොව වටා සිටින (දැන් ඇමීබාකරණය වෙමින් ඇති) බෝල්ෂෙවික් වාදය කරගසාගෙන යන්නාවූ වාමාංශිකයින් ආදාහනාග්‍රාහීව  (dogmatic) ලෙස ගන්නා ආස්ථානයක් වනුයේ ස්ටැලින්වාදය යනු බෝල්ෂෙවික් වාදයේ දිගුවක් නොව එහි මුලුමනින්ම ඛන්ඩනයක් බවයි. මෙය ට්‍රොස්ට්කි විසින්ද ප්‍රකාශ කරනලද ඇති අතර එය එසේමදැයි විග්‍රහකොට බැලීමේදී පහත කරුණු අපට ඉදිරිපත් කොටදැක්විය හැකිය.

xgfsdtgrt
ඇත්තටම ස්ටාලින් යනු කාගේ නිර්මාණයක්ද ? රුසියාවට පිටතින් ඇති ජෝර්ජියාවල ඉතාමත් දිළිඳු පවුලක සපතේරුවකුගේ පුත්‍රයෙකු ලෙස ඉපදී කුඩාකල අධික බීමතට ඇබ්බැහිවුනු පියාගෙන් දරුණු පීඩාවිඳිමින්ද, අසනීප තත්වයෙන්ද, රිය අනතුරකින් වම් අතෙහි ආබාධයකින්ද ළමාකාලය ගෙවාදමමින් තරුණවියට පැමිණි ස්ටාලින් 1905 කාලය වනවිට හොඳින් රුසියානු භාෂාව හසුරුවමින් ජෝර්ජියානු බොල්ෂෙවික් පක්ෂ කමිටුවේ නියෝජිතයා වීමට සමත්විය. ඔහු එතැනින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ගත්තේ වෙනකවුරුත් නොව ලෙනින් විසිනි.


ඇත්තෙන්ම සයිබීරියාවට පිටුවහල් කිරීමෙන් පසු මයිනස් 30 ක අධික ශීතල යටතේ අත්වැසුම් පවා නොමැතිව සැතපුම් 46ක් ඇවිඳගෙන ඒමෙන් නැවත බේරී පැනඒමට සමත්වුනු ස්ටාලින්ට ලෙනින් පැවරුවේ පක්ෂ අරමුදල වර්ධනය කිරීමයි. මේ සඳහා ස්ටාලින් අනුගමනයකලේ පාතාල කල්ලි අනුගමනය කරන්නාවූ ක්‍රමවේදයන්ගෙන් සමහරක් වුනු අතර 1907 දී ටිෆ්ලි හිදී ඔහු සිදුකෙරුනු බැංකු කොල්ලයෙන් සැලකියයුතු පිරිසක් මියගියද පක්ෂයට ඔහු රූබල් දස දහස් ගණනක් ලබාදීමට සමත්විය. ලෙනින්ගේ උපදෙස් අකුරටම පිලිපැදීමට සැදී පැහැදී සිටි ඔහුට ස්ටාලින් (අයන් මෑන්) යන නම වැටුනේද ඔහුගේ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙනි.

fgwsrt
අනතුරුව 1917 දී බෝල්ෂෙවික් පක්ෂය පිහිටවූ පළමුවැනි දේශපාලන මංඩලයේ 7 දෙනාගෙන් එනම් ලෙනින්, ට්‍රොස්ට්කි, සිනොවිව්, කාමනෙව්, බබ්නොව් සහ සොලොස්නිකොව් අතර ස්ටාලින්ටද අවස්ථාවක් හිමිවුනේ ලෙනින්ගේ උපදෙස් මතය. පසුව ස්ටාලින් 1938 කාලයේදී ලෙනින් හැර මේ සියළුම දෙනාමත්, සමහරුන්ගේ දරුවන් ඇතුළු මුලු පවුලුත් මරාදමන ලදී).


එපමණක් නොව 1922 දී ස්ටාලින්ව පක්ෂයේ ලේකම් ධුරයට පත්වුනේද ලෙනින් මිය යාමට පෙර ඔහුගේ නායකත්වය යටතේදීමය. නමුත් 1922 වනවිට ලෙනින්ට ස්ටාලින්ගැන යම් අවබෝධයක් ඇතිව තිබූ නමුත් ඒ වනවිට ස්ටාලින් විසින් ලෙනින්ගේ පෞද්ගලික ලේකම්වරියවූ 19 හැවිරිදි තරුණිය තම බිරිඳ කරගනිමින් ක්‍රෙම්ලිනයේ සියළුම වැඩකටයුතු තමග්‍රහණයට ගනිමින් සිය බලය ක්‍රමයෙන් තහවුරු කරගැනීමට සමත්විය.

අනතුරුව ලෙනින්ගේ ස්ටාලින් පිළිබඳව වුනු තක්සේරුව වූයේ "මෙම කෝකියාට පිලියෙල කලහැක්කේ සැර කරගැස්ම පමණි" යනුවෙන් පවසා අනිත් අයට ස්ටාලින්ගේ නැගීඒමගැන අනතුරු ඇඟවීම පමණි. ඒ අනුව ස්ටාලින් යනචරිතය තනිකරම ලෙනින්ගේ නිර්මාණක් බව ඉතා පැහැදිලිය. ස්ටාලින් අකුරටම පිළිපැද්දේ ලෙනින්ගේ උපදෙස් මිස වෙන කාගේහෝ උපදෙස් නොවේ. එබැවින් ස්ටාලින්ගේ නායකත්වයට පැමිණීමත් ඔහුගේ ස්ටාලින්වාදයේ ගොඩනැගීමත් සිදුවූයේ ආකාශ්මිතව නොව  බෝල්ෂෙවික් වාදයේ අත්තිවාරම මතයි.

ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් වාදය තුල ගොඩනැගුනු ඉතාමත් ජුගුප්සාජනක මෙන්ම අතිභයංකර, මෙන්ම ම්ලේච්ඡත්වය ඉස්මතුකර රඟදැක්වූ එක් වැඩපිලිවෙලක් නම් බලයට පත්වූ පසු ඔවුන් විසින් නම්කල "ජනතා ද්‍රෝහීන්" හට දඩුවම් ලබාදුන් ආකාරයයි. ලොවපුරා හිට්ලර්ගේ "ගෙස්ටාෆෝ" පොලිසිය ගැන ඇසූපමණින් ඇඟ කිලිපොලා යනබවට කිසිදු රහසක් නැත.

ඒ ආකාරයටම අපකීර්තිමත් නමක් ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් නායකත්වය 1918  දී ගොඩනැගූ චෙකා පොලිස් (Cheka) සහ 1923 සිට 1934 දක්වා ක්‍රියාත්මක වුනු NKVD ( People's Commissariat for International Affairs) යන මර්ධන යන්ත්‍ර ගොඩනැගීමයි. ආරම්භයේදී මෙම  මර්ධන ආයතන ගොඩනැගුවේ විප්ලවය ආරක්ෂා කිරීමසඳහා ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය සඳහායැයි පැවසූවද ඒවා ක්‍රම ක්‍රමයෙන් පොදු ජනතාවගේ කටවල් වැසීමටත් ඉන් අනතුරුව බලහත්කාරී ශ්‍රම කඳවුරු (Forced Labour Camp) වර්ධනය කිරීමටත් යොදවාගනු ලැබීය. සුප්‍රකට ගුලාග් (Concentration Camp) බෝල්ෂෙවික් නායකයින් මෙහිදී අත් හදා බැලූ අතර මුලදී හොරකම් කිරීම සහ අල්ලස් ගැනීමේ වරදට වසර 25 දක්වා වූ බරපතල වැඩ සහිතව සිර දඬුවම් පැමිණවීය.

gulag
මේ ගුලාග් පිළිබඳව හිටපු රතුහමුදාවේ නිලධාරියෙකු වුනු ෂෝල්ශෙනිට්සන් (Solzhenitsyn) විසින් ලියනලද ආකිපලගො (Archipelago) පොතෙහි මේ කරුණු ඉතා මැනවින් විස්තර කොට ඇත. එහිදී ඔහු එම කඳවුරු තුලදී දුටු දේවල්ද තම අත් දැකීම්ද මේ පොත තුලින් ලොවට මැනවින් හෙලිදරව් කොට ඇත. මේ ගුලාග් තුලට ගාල්කොට අධික ශීතලේ පවා කිසිදු පහසුකම් නොමැතිව සැකකරුවන්ගෙන් වසර 20 දක්වාත් සමහරු වසර 25 දක්වාත් බරපතල වැඩවලට යොමුකල හැටිත් ඒවාතුල ජනයා මිලියන ගණනාවක් ගාල්කොට තබමින් ශ්‍රමය නොමිලේම සූරාකෑමට ලක්කල හැටිත් මේ ග්‍රන්ථය තුල විස්තර කරයි. උදාහරණයක් ලෙස වයස අවුරුදු 12 ක ළමුන් ඇපල් ගෙඩියක් හෝ පිපිඥ්ඥා ගෙඩියක් සොරකම් කල වරදට වසර 20 ක සිරදදුවම් ලැබූ හැටිත් (පිටුව- 35) මේ Archipelago පොත තුලින් විස්තර කරනු ලබයි.


එසේම බෝල්ෂෙවික් ඉහලම ප්‍රධානීන් ගණනාවක් මේ ඔවුන්ම නිර්මාණය කල NKVD මර්ධන යන්ත්‍රයටම 1930 ගණන් වල අගභාගයේදී ගොදුරුවීමද විෂේශත්වයකි.බබ්නොව්, සිනොවිව්, කාමනෙව්,ට්‍රොස්ට්කි ,සොලොස්නිකොව්, කාල් රාඩෙක්, බුකාරින්, ඇතුළු 36,000 කට අධික බෝල්ෂෙවික් වරු ස්ටාලින්ගේ නියෝගමත මේ NKVD මර්ධන යන්ත්‍රයට ගොදුරුවිය.ඔවුන් පමණක් නොව ඔවුන්ගේ දරුවන්, බිරිඳ ඇතුලු පවුල් පිටින් ඝාතනයට ලක්විය.ට්‍රොස්කිගේ දරුවන් සියලු දෙනාද, ඔහුගේ මස්සිනාවූ ලෙව් කාමනෙව්ගේ දරුවන් සහ බිරිඳද මේ ඝාතනවලට ඇතුලත්වේ.

ඇත්තෙන්ම සාර් රජුගේ ඔත්තු සේවාව වුනු ඔක්‍රානා පොලිසිය මේ මට්ටමින් විරුද්ධවාදීන් මර්ධනය කලබවක් නොපෙනේ.ඔවුන් මුල්පෙලේ බෝල්ශෙවික් නායකයින් සියළුම දෙනා පාහේ ඔවුන්ගේ ආරක්ෂක දැලට වරින්වර හසුකරගන්නා ලදී. ස්ටාලින් දෙවරක්මද ලෙනින්,මාටොව්, ඇතුලු බොහෝදෙනෙක් ඇල්ලූපසු ඔක්‍රානා පොලිසිය කලේ ඔවුන් සයිබීරියාවට පිටුවහල් කිරීමත්, පිටුවහලේ සිටින කාලය තුලදී ඔවුනට යම් දීමනාවක් දීමත් පමණි. එහෙත් බෝල්ෂෙවික්වරු බලයට පැමිණි පසු ඔවුන්ගේ මර්ධන යන්ත්‍ර දිනෙන් දින ජනතාව පීඩනය සඳහා යොදාගන්නා ලදී. එහෙත් මාක්ස් සහ එංගල්ස් පෙන්වාදුන් පරිදි රාජ්‍ය යනු පීඩක උපකරණයක් මිස වෙනත් යමක් නොවේ. මෙම රාජ්‍ය, සමාජවාදී නිෂ්පාදන මොඩලයක් තුල කල් යාමේදී  හැකිලී යායුතුය.එය කිසිසේත් ප්‍රභලව වර්ධනය නොකල යුතුය. නමුත් ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් වරු අනුගමනය කලේ ඊටහාත්පසින්ම වෙනත් ක්‍රියාවලියකි. ඉන් පසුවද ලෝකයේ බොහෝ තැන්වල සමාජවාදය යැයි සිතා ඇතිකරගත් පාලන තන්ත්‍රයන් තුල බිහිවුනේම අතිශයභයංකර මර්ධනකාරී රාජ්‍යයන්ම මිස මාක්ස් එංගල්ස් පෙන්වාදුන් ධනේශ්වරයේ ක්‍රමවේදයන්ටත් වඩා ඉහලින් ඇති මනුශ්‍යත්වය අගයන සමාජ ක්‍රමයන් නොවේ.

කරුණු කෙසේ වූවද ලෙනින් යනු අතිදක්ෂ නායකයෙකු බව අවිවාදිතය. එහෙත් ඔහු අතින් සිදුවූ යම් නිෂේධාත්මක කරුණු කාරණා ලෝකයට ඉතා බරපතල ලෙස සමාජවාදය පිලිබඳව වැරදි අවබෝධයක් ඇතිවිය.එබැවින් මේ සියළු කරුණු අදවනවිට ලෙනින් මියගොස් වසර 100 ගතවන විටවත් අප වාමාංශිකයින් වශයෙන් සංවාදයකට බඳුන් කලයුතුව ඇත. ලෙනින්ගේ දේහය බෙහෙත්ගල්වා ආරක්ෂා කරනවාට වඩා, ඔහුගේ පිළිම හංදිගානේ බිහිකරනවාට වඩා, ඔහුව සුරුවමක් ලෙස හෝ ආගමික ශාස්තෘවරයෙකු ලෙස සලකා වන්දනාමාන කරනවාට වඩා එය වඩා වැඳගත් වනු ඇත.

Ranjana Senanayaka(රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අධ්‍යයන කවය- " 89- සහෝදරත්වය")

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image