රතු මුහුදේ හූති කැරලිකරුවන්ට එරෙහිව නාවික හමුදාව යෙදවීමට ගත් තීරණයත්, ජර්මනියේ රූපවාහිනි නාලිකාවකට බටහිර රටවල් විවේචනය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවත් සිහි කරවන්නේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනය.
කිසිදා ’''යැංකි ඩිකී'' නාමධාරි ජයවර්ධන ජනාධිපතිවරයා කොමියුනිස්ට් නායකයන් හිතවත් රාජ්‍ය නායකයකු ලෙස සැලකුවේ නැත
අසූව දශකයේ මැද භාගයේ රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කොට බෙදා හරින ලද පොතක පිටකවරයක් මට අද මෙන් මතකය. එහි කවරය සරසා තිබුණේ ජනාධිපති ජයවර්ධන වැළඳගෙන සිටින කියුබානු නායක ෆිදෙල් ක්‍රස්තෝගේ ඡායාරූපයකනි. එකල ජනාධිපතිවරයාට කියුබානු නායකයාගෙන් හවානා සුරුට්ටු තෑගි වශයෙන් ලැබුණු බව කියනු ලැබේ.. නමුත් කිසිදා ’''යැංකි ඩිකී'' නාමධාරි ජයවර්ධන ජනාධිපතිවරයා කොමියුනිස්ට් නායකයන් හිතවත් රාජ්‍ය නායකයකු ලෙස සැලකුවේ නැත.
1980 දී නැවත ඉන්දිරා ගාන්ධි මැතිනිය බලයට පත්වූ පසු උග්‍ර ශ්‍රී ලංකා විරෝධී ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළේ ජයවර්ධන ජනාධිපතිවරයාගේ ඇමරිකාවට සහ බටහිරට ගැතී විදේශ ප්‍රතිපත්තිය හේතුවෙනි. එවකට සෝවියට් සංගමය සමඟින් සමීපව කටයුතු කළ ඉන්දියාව සියලු දමිළ බෙදුම්වාදී කණ්ඩායම් වලට මදුරාසියේදී අවි පුහුණුව ලබාදීමට කටයුතු කළේය. අවසානයේ සිදුවූයේ 1984 වන විට රජයේ හමුදාවන්ට යාපනය කොටුවට සීමා වීමට සිදුවීමයි.
ඉන්දීය බලපෑම් මත තිම්පු සාකච්ඡා පැවැත්වීමටත්, අපගේ ගුවන් තීරය ආක්‍රමණය කළ පුවමාලයේ මෙහෙයුමෙන් පසු සිය කැබිනට් සභයන්ගේ විරෝධය මත ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමටත් ජයවර්ධන ජනාධිපතිවරයාට සිදුවිය. නමුත් 'යැංකි ඩිකීට' කිසිදු යුධ ආධාරයක් බටහිරින් නොලැබුණ අතරින් අඩුම වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මුදලට හෝ බෙල් හෙලිකොප්ටර් ගුවන් හමුදාවට විකුණුවේ නැත.
බටහිර රටවල් එසේ අපට යුධ උපකරණ නොවිකුණන ලද තත්ත්වයක් යටතේ ජයවර්ධන ජනාධිපතිවරයාට නැවතත් ඊශ්‍රායලය සමඟ සබඳතා තර කර ගැනීමට සිදුවිය. (1970 දී සිරිමා බණ්ඩාරනායක මැතිනිය විසින් ඊශ්‍රායල් තානාපති කාර්යාලය වසා දමා තිබුණු අතර 1975 දී පලස්තීන තානාපති කාර්යාලයක් කොළඹ ආරම්භ කරන ලදී) නමුත් ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ පලස්තීන සබඳතා යහපත් නොවූ අතර ප්ලොට් සංවිධානයේ නායක උමා මහේශ්වරන් ආදීන් ගරිල්ලා පුහුණුව ලබා ගත්තේ යසර් අර්පත් ගේ අනුග්‍රහය යටතේ පලස්තීනයේදීය.
තිස් වසරක යුද්ධයට ජනාධිපති ජයවර්ධනගේ විදේශ ප්‍රතිපත්තිය ඉන්ධන සැපයූ අතර 1982 අප්‍රේල් දෙවන දා මහා බ්‍රිතාන්‍ය විසින් ආජන්ටිනාවට අයත් ෆෝක්ලන්ත දූපත් ආක්‍රමණය කරන ලද අවස්ථාවේ දී ජනාධිපති ජයවර්ධන විසින් ගන්නා ලද තීරණය අද දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආජන්ටිනාව අපට එරෙහි වීමට හේතුවක් වී ඇත. එවකට විදේශ අමාත්‍යවරයා වූ ඒ.සි.එස් හමීඩ් බ්‍රිතාන්‍යයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට වික්ටෝරියා ජලාශය ගොඩනැගීමට ආධාර ලැබීම මෙන්ම කෙදිනක හෝ මහ රැජින සමග අශ්ව කරත්තයේ යෑමට ජයවර්ධන ජනාධිපතිවරයාගේ තිබූ ආශාව හේතු වන්නට ඇත.
මේ වනවිට ජනාධිපති වික්‍රමසිංහ ලංකාවට වඩා වැඩි කාලයක් අප වෙනුවෙන් ගත කරන්නේ විදේශයන්හිය. 2015 අගමැති වූ විට වසර එකහමාරකට කොළඹ වරාය නගරයේ වැඩ නතර කළේ ද ඔහුය, දැන් ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වී තිබෙන්නේ බටහිරට පසු කරමින් නැගෙනහිර ආසියාවේ ඇති වෙමින් තිබෙන ආර්ථික ප්‍රබෝධය නිසා ය.
නමුත් ජනාධිපති ජයවර්ධන මෙන්ම වික්‍රමසිංහ ජනාධිපතිවරයාද ක්‍රියා කරන්නේ සමාන ආකාරයෙන් බව රතු මුහුදට නැව් යැවීමේ අභිලාෂයන් ප්‍රකාශයට පත් කොට ඇත.
කොළඹ වරායේ මේ වනවිට නාවික මෙහෙයුම වැඩිවී ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව වටා යාත්‍රා කරන නැව් මෙරට පැමිණවීම හේතුවෙනි. අපට කිසිදු වාසියක් නැති ගැටුමකට මැදිහත්වීමට ක්‍රියා කිරීමෙන් ජනාධිපති වික්‍රමසිංහ ද මාමාගේ අඩි පාරේම ගමන් කරන්නෙකු බව පසක් කොට ඇත.
සටහන :
නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක