ජය ගැනීමට තරම් හැකියාවක් නැතැයි සැලකෙමින් තරගයකට පිවිසෙන කෙනෙකුට

මුළුමනින්ම තරගය පරාජය වීම ඉවසිය හැකි දෙයක්.

නමුත් තියුණු සටනකින් ජයග්‍රහණයේ දොරටුව අභියස ට ම පැමිණීමෙන් පසුව අවසානයේ එක ලකුණකින් පමණක් පැරදීම ඉවසුම් නොදෙන තරමට හද කකියවන දුක්මුසු අවස්ථාවක්.

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව ට ලකුණු 16-15කින් පරාජය වෙමින් එංගලන්තය අත්වින්දේ එවන් වේදනාවක්.

xfy546

එංගලන්තය තරගයේ මිනිත්තු 78ක්ම ඔවුන්ගේ අණසක පතුරුවා සිටියදී දකුණු අප්‍රිකානු ‘ස්ප්‍රිංබොක්ස්’ ක්‍රීඩකයන්ට සිදුවුනේ ඔවුන් පිටුපසින් පරාජිතව සිටිමින් තරග වැදීමට.

ක්‍රීඩා තරගයකදී උපරිම ඉහළ සහ දරුණු ම පහළ අවස්ථාවක් අතර ඇති වෙනස මිනිත්තු දෙකක් හෝ දෙක හමාරක් වීමට ඉඩ තිබෙනවා. ඒ උද්වේගකර සටනේ හරි පැත්තේ නැවත වතාවක් සිටීමට දකුණු අප්‍රිකාව ට ඊයේ හැකිවූයේ හැන්ඩ්‍රී පොලාඩ් තරගයේ මරණීය අවස්ථාවේදී පෙනල්ටියක් සාර්ථකව එල්ල කරමින් දකුණු අප්‍රිකාව මේ තරගයේ ප්‍රථම වතාවට පෙරමුණට ගෙන ආ නිසා.

මිනිත්තු 78කින් පසුව එංගලන්තයේ දැඩි ග්‍රහණයෙන් දකුණු අප්‍රිකාව මුදා ගත් පොලාඩ් ‘තරගයේ වීරයා’ ලෙස නම් කෙරුණා.



“ඒ පෙනල්ටිය ලැබීම ලොකු අවස්ථාවක් තමයි. නමුත් මෙවැනි ලෝක මට්ටමේ තරගයකදී ක්‍රීඩකයෙකු ලෙසින් කෙනෙකුට අවශ්‍ය වන්නේ මෙවැනි අවස්ථාවකුයි. ‘ෆ්ලයි-හාෆ්’ ක්‍රීඩකයෙක් ලෙස මේ වගේ තීරණාත්මක අවස්ථාවකට පත්වීමට තමයි කෙනෙක් ජීවත් වන්නේ. එය විනෝදයක් වුනා” පොලාඩ් ජයග්‍රහණයෙන් පසුව කියා සිටියා.

“එය විශ්වාස කළ නොහැකි සිදුවීමක්. මේ අවස්ථාවේ ඒක ලොකු සහනයක්.”


පිටියේ මීටර් 50ක් දුර සිට ඉලක්කය කරා ගිය පොලාඩ්ගේ පෙනල්ටියත් සමග තවත් මිනිත්තු දෙකකින් දකුණු අප්‍රිකාව ට එරෙහිව කීර්තිමත් ජයග්‍රහණයක් ලබා ගැනීම පිණිස පැරිසියේ රාත්‍රියක් පුරා යෙදී සිටි අතිවෙහෙසකර උත්සාහයන් නිෂ්ඵලව ගියේ නිර්භීත, සටන්කාමී, බිහිසුණු ක්‍රීඩාවක යෙදී සිටි එංගලන්ත කණ්ඩායම ලකුණු 16 ට 15ක් ලෙසට කිඳා බසිමින්.

මේ අවසන් පූර්ව තරගය පුරාවටම පාහේ දකුණු අප්‍රිකාව කළේ ලුහුබැඳීමක්. ආදේශක ‘ෆ්ලයි-හාෆ්’ ක්‍රීඩක හැන්ඩ්‍රී පොලාඩ් පිටියේ මධ්‍යයට ආසන්නයේ සිට 78වන මිනිත්තුවක පෙනලටියක් ලබා ගැනීමත් සමග දකුණු අප්‍රිකාව එක ලකුණකින් එංගලන්තය ට වඩා ඉදිරියට පිවිසුනා. පොලාඩ් තරගය සඳහා යොදවනු ලැබුවේ මිනිත්තු 30ක පමණ කාලයක් පමණක් ඉතිරිව තිබියදී. අවසාන ප්‍රතිඵලයට බලපෑවේ ඒ කුරිරු ක්‍රීඩක ආදේශය.

rty4567

එංගලන්තය ඔවුන්ගේ තරග සැලැස්ම ඉතාමත් නිවැරදිව ක්‍රියාත්මක කළේ විශේෂයෙන් ඔවුන්ගේ ‘ෆ්ලයි-හාෆ්’ ක්‍රීඩක ඔවන් ෆැරල්ගේ පාදයෙන් නිරතුරුව ප්‍රතිවාදී කලාපය වෙත පන්දුව එල්ල කරමින්. මේ නිසා ඉතා ඉහළ අහසේ සිට පැමිණි මේ ‘බෝම්බ’ සමග තරගය මුළුල්ලේම පැරිසියේ වර්ෂාව මැද ගණුදෙනු කිරීමට දකුණු අප්‍රිකානු ‘ස්ප්‍රිංබොක්ස්’ ක්‍රීඩකයන්ට සිදුවුනා.

ෆැරල් පෙනල්ටි හතරක් ලබා ගනිමින් සහ දුර සිට එල්ල කළ ‘ඩ්‍රොප්’ ගෝලයකින් එංගලන්තය ලකුණු 15-6කින් පෙරමුණට ගෙන එන විට තරගයේ තවත් ඉතිරිව තිබුනේ පැය භාගයකට අඩු කාලයක්.

දකුණු අප්‍රිකානුවන්ගේ නැවත නැගිටීම සිදුවුනේ 69 වැනි මිනිත්තුවේදී ලබා ගත් ට්‍රයි දිනුමකින්. එය ගෝලයක් බවට පත්කිරීමත් සමග ඔවුන් එංගලන්තය ට වඩා ලකුණු දෙකක් පිටුපසින්  15-13කට පැමිණියා.



තරගයේ අවසන් මිනිත්තුවලදී පිටියේ මැද ක්‍රීඩා කෙරුණු ‘ස්ක්‍රම්’ එකක් පැත්තකට බර වී යාම හේතුවෙන් දකුණු අප්‍රිකානුවන් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි පෙනල්ටියක අවස්ථාව දිනා ගත්තා. එහිදී පොලාඩ් සාර්ථකව ලබා ගත්තේ ලෝක කුසලාන රග්බි තරගයක පිටියේ මැද සිට වැඩිම පීඩනයක් යටතේ එල්ල කරන්නට සිදුවූ පෙනල්ටියක්.  



දකුණු අප්‍රිකාව දැන් ඔවුන්ගේ පැරණි ප්‍රතිවාදීන් වන නවසිලන්තය ලබන ඉරිදා මුණගැසෙන්නේ 1995 වසරේ රග්බි ලෝක කුසලාන අවසාන මහා තරග ඉතිහාසය නැවත නිර්මාණය කරමින්. එහිදී මේ කණ්ඩායම් දෙකෙන් එකක් සිවුවැනි ලෝක රග්බි කුසලානයක් දිනා ගනු ඇත්තේ වාර්තා පොතේ අලුත් පිටුවක් පෙරළමින්.

සිවු වසරක් තිස්සේ තමන් සතුව තිබෙන රග්බි ලෝක කුසලානය තවදුරටත් රැකගෙන සිටීමට දකුණු අප්‍රිකාවේ ‘ස්ප්‍රිංබොක්ස්’ කණ්ඩායම ‌දරණ මේ උත්සාහය ජීවමානව තිබීමේ හේතුව වන්නේ මිලියන ගණනින් වන දකුණු අප්‍රිකානුවන් දිනපතා විඳ දරා සිටින ජීවන අරගලය. 


සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්