යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ සිරුරු ගොඩ ගැනීම නිල වශයෙන් ආරම්භ කළ පළමු

දිනයේම අවම වශයෙන් දහදෙනකුගේ මිනිස් අස්ථි කොටස් සහ ඇඳුම් දැකගන්නට ලැබුන බව කැනීම් කටයුතු ඇසින් දුටුවෝ පවසති.

හිස් කබල් කොටස් කිහිපයක්ද කැන ගොඩගෙන තිබුණි.

පසින් යටව තිබු වස්ත්‍ර කැබලි අනුව බහුතරයක් කාන්තාවන්ගේ බවට විශ්වාස කෙරෙන සිරුරු අතරේ එක පිරිමියකුගේ ශේෂ දැකගන්නට හැකිවූ බව හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් කියා සිටියේය.

කැනීම් සිදුවන ආකාරය සම්බන්ධයෙන් දෙමළ යුද පීඩිතයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සෑහීමකට පත්වූ බවක් පෙනෙන්නට තිබුනේ නැත.

ආරම්භක අවස්ථාවේ සිටම එම ස්ථානය නිරීක්ෂණය කළ ජනාධිපති නීතිඥයකු ද වන දෙමළ ජනතා නියෝජිතයකු පවසන්නේ කැනීමේ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිසි ක්‍රමවේදයකට සිදු වු බවක් දැක ගන්නට නොලැබුනු බවයි.

"හම්බවෙන හම්බවෙන දේ වෝහාරික සාක්ෂි හැටියට තියාගන්න එකයි වෙන්නේ. මේක සිද්ධවෙන්නේ ජාත්‍යන්තර විශේෂඥතාව පදනම් කරගෙන නෙවෙයි. ඒ නිසා සාක්ෂි ආගිය අතක් නැතිවීමේ අනතුරක් තියෙනවා."

 

ජුලි 06 වැනිදා  මධ්‍යම කොක්කුතුඩුවායිහි සිදු කළ කැනීම් වලදී ‘එක වැදගත් සාක්ෂියක්’ හමු වු බව පවසන ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් එය කවරක්දැයි මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර නැත.

 

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට ක‍ෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

අස්ථි කොටස් හමු වු භුමිය ජුනි 30 වැනිදා නිරීක්ෂණය කරමින් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා නියෝග කර තිබුනේ ජුලි 6 වැනිදා භූමියේ කැනීම් කටයුතු ආරම්භ කරන ලෙසයි.

මුලතිව් දිසා විනිසුරු ටී. ප්‍රදීපන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරී වාසුදේවගේ උපදෙස් මත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ මානව හිමිකම් නීතීඥයන් ඉදිරියේ කැණීම් ආරම්භ කළ කොක්කුතුඩුවායි හි සමූහ සුසානයේ කැණීම සඳහා, පස් කැපීමට යොදාගන්නා බර යන්ත්‍රෝපකරණ, උදලු සහ සවල් ආදිය භාවිතා කරනු පළාත් බද මාධ්‍යවේදීන් විසින් කැමරාගත කර තිබුනි.

කැනීමේ කටයුතු සිදු වන මොහොතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ සහ යුද හමුදාවේ නිලධාරීන්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමක් ද සිටි බව ඔවුහු වැඩි දුරටත් වාර්තා කර ඇත.

කැනීමේදී හමු වු දැ පිළිබදව මාධ්‍යවේදීන්ට විස්තර කරමින් ඒම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා තිබුනේ කාන්තා හා පිරිමි යන දෙපාර්ශවයේම සිරුරු කොටස් එම ස්ථානයේ පැවැතිය හැකි බවයි.

"මේක යුද්ධ කාලේ වෙච්චි සිද්ධියක් වෙන්න පුළුවන්. හමුදාවේ නිල ඇඳුම් නැතිනම් LTTE නිල ඇඳුම් වගේ රෙදිපිලි හමුවෙලා තියෙන බව පේනවා. විශේෂයෙන් කාන්තා කේඩර්වරියන්ගේ සිරුරු වගේ. එක පිරිමියකුගේ සිරුරකුත් එතන තියෙන්න පුළුවන් බවට සැක කෙරෙනවා. ඒ අනුව, මිනී ගොඩ ගනිද්දී සිරුරු පහකට වැඩිය එකම තැන වල දමලා තියෙන බව බැලුවාම පේනවා."

විනිශ්චයකාරවරයකුගේ අධීක්ෂණය යටතේ කැනීමේ කටයුතු සිදු කිරීම යහපත් නමුත් ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සුපරීක්ෂණය යටතේ එය සිදු කිරීමේ වැදගත්කම මන්ත්‍රීවරයා විසින් වැඩි දුරටත් අවධාරණය කර තිබුනි.

 

"කැනීම් කටයුතු කරද්දී ඒ විෂය ගැන නිපුණත්වය තිබෙන පුද්ගලයන්ගේ සහාය ඇතිව ප්‍රවේසම් සහගතව කරන්න ඕනේ කාරියක් මේක. එහෙම නොකර එන එන හැටියට මේ වැඩේ කරන එක අනුමත කරන්න බැහැ. විනිශ්චයකාරවරයකුගේ අධීක්ෂණය යටතේ මේක කරන එක හොඳ වැඩක්. එහෙම උනත්, මේක ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සුපරීක්ෂණය යටතේ සිදු කරන්න ඕනේ." 

 

පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ සමුහ සුසානයේ කැනීමේ කටයුතු ජුලි 6 වැනිදා පස්වරුවේ තාවකාලිකව නතර කිරීමෙන් පසු විනිසුරුවරයාගේ නියෝග පරිදි  එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවු බවයි.

කැණීමේ කටයුතු සිදු කළ පළමු දිනයේ සොයාගත් අස්ථි කොටස්, ඇඳුම් කොටස් ඇතුළු  දෑ සම්බන්ධයෙන් වාර්තාවක්  ජුලි 13 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇති බව ඔවුහු වැඩි දුරටත් සදහන් කරති.

ජුලි 13 වැනිදා ලබා දෙන අධිකරණ තීන්දුව අනුව ඉදිරි කැනීමේ කටයුතු සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ හමුවූ සමූහ මිනීවලවල් අතුරින් කැනීම් කරන ලද 20ක අසාර්ථක භාවය ගැන වාර්තාවක් මෑතදී නිකුත් කළ දේශීය හා විදේශීය මානව හිමිකම් සංවිධාන හතරක් මිනී ගොඩගෙන යුක්තිය ඉටු කිරීම කළ යුතු ජාත්‍යන්තර ප්‍රමිතිය ඇතුලත් නිර්දේශ ගණනාවක් සඳහන් කර තිබුනේ කොක්කුතොඩුවායි සමූහ මිනීවල සොයාගැනීමට සතියකට පෙරය.

KKT 2

KKT 1

Summa

JMO Vasudeva

IMG 20230706 WA0035




සබැඳි පුවත් :

අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

ඇටකටු හමුවූ මුලතිව් සමූහ සුසානයේ කැනීම් 6 දා ඇරඹීමට නියෝග

වන්නියෙන් ඇටසැකිලි මතුවුයේ සමූහ සුසානයකින්දැයි සැකයක්

තොග පිටින් වලලන්න දක්ෂ රටේ ගොඩගන්න අදක්ෂකම හෙළිවන වාර්තාවක් 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්