1980 - 90 දශකවල කුමරි පුවත්පතේ ප්‍රමාණයෙන් යුතු යුවතියන් සඳහා වූ පුවත්පත්වලට අපේ රටේ ඉහළ ඉල්ලුමක් තිබිණි.ප්‍රබුද්ධ මනැස් සහිත බව පැවසුණු ඇතැමුන් මේවා "මල් පත්තර" නමින් හැඳින් වූ අතර මල් පත්තර කලාවේ ප්‍රමුඛයකු ලෙස බන්දුල පද්ම කුමාර නම් කරනු ලැබිණි.නමුත් මෙම "මල්"යන සරල වදනින් ඇතැමුන් හඳුන්වන ලද්දේ ඔහු විසින් හඳුන්වා දෙන ලද අරුමැසි හා විචිත්‍රවත් නව පුවත්පත් සම්ප්‍රදායක් බව අතිශය පැහැදිලි ය.
සුමති ප්‍රකාශන ආයතනයට සම්බන්ධ වීමෙන් පසු බන්දුල පද්ම කුමාර විසින් "අරලිය" නමින් එබඳු පුවත් පුවත්පතක් ආරම්භ කරන ලද අතර තිලක් ද ඊට විවිධ ආරූඪ නාමවලින් නවකතා සහ වෙනත් විශේෂාංග ද සතිපතා රචනා කළේය. එම පුවත්පතට ඔහු ලියූ "චින්තන රේඛා" එකල ඉතා ජනප්‍රිය විශේෂාංගයක් වූ අතර "අවසන් සැඳෑව" යනුවෙන් ඔහු ලියූ වියෝවක් පිළිබඳව සනිටුහන් කරන කවි දෙකකින් යුතුවූ විශේෂාංගය එකල තරුණියන් මෙන්ම මැදිවියේ කාන්තාවෝ පවා උන්මාදයෙන් මෙන් කපා එකතු කර තබා ගන්නට පවා පෙළඹී සිටියහ. එම පුවත්පත් වසා දමා මේ වනවිට දශක කිහිපයක් ඉකුත් වී තිබුණත් අද පවා එම කවි දෙක පිළිබඳව කතා කරන රසිකාවියන් ඉඳහිට තිලක් ට හමුවෙයි.ඒ වන විට අරලිය කර්තෘ ධූරය බන්දුල භාරදී තිබුණේ එවක යෞවනියන් අතරේ නොමඳ ආදරයක් හිමි කරගෙන සිටි මාධ්‍යවේදී, ලේඛක ප්‍රදීප් කුමාර බාලසූරියට ය.

අරලිය පුවත්පතේ ජනප්‍රියතාව මත 1991දී කුමුදු නමින් බාලිකාවන් සඳහා ද එම ගණයේ පුවත්පතක් බන්දුල විසින් ආරම්භ කරනු ලැබිණි. ඊළඟට 1992 දෙසැම්බර් මාසයේදී බන්දුල නවතම ආකාරයේ පුවත්පතක් සමුදුර නමින් ආරම්භ කරන ලද අතර අන්තර්ජාලය නොතිබුණු ඒ යුගයේ විදෙස් සඟරාවලින් උපුටා ගත් නවතම ලිපි සිංහලයට පරිවර්තනය කර පළ කළ සමුදුර එම ආරයේ එකම සිංහල පුවත්පත විය.
පාඨක ඉල්ලීම අනුව රැජිණ සහ අරලිය පුවත්පත්වලට නොයෙකුත් ලිපි ලියූවද එවැනි විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තිලක් ගේ වැඩි ඇල්මක් නොතිබිණි. ඔහුගේ කැමැත්ත තිබුණේ එතැනින් එහාට පෙරළිකාර යමක් කරන්නට ය. ඔහු ඒ සඳහා තෝරාගත් මාවත වූයේ අප සමාජය පුරා පැතිර තිබූ ගුප්ත විශ්වාස පිළිබඳ විමර්ශනයයි. විශේෂයෙන් අපේ රටේ කාන්තාවන් විශාල වශයෙන් රැවටීමකට ලක් වන තැනක් වන්නේ ද මෙම ක්ෂේත්‍රයයි. ඒ කාලයේ ඔහු ඒවා හැඳින්වූයේ "මිථ්‍යා විශ්වාස" ලෙසිනි. මිථ්‍යා යන්න ඉංග්‍රීසි භාෂාවෙහි Myth යන වචනයෙන් බිඳී පැමිණි එකකි. එහෙත්, එහි සැබෑ අරුත සත්‍ය හෝ අසත්‍ය පදනම කෙසේ වෙතත් පුරාණෝක්ති යන්න ය. කිසියම් සංස්කෘතියක් විසින් සත්‍යයැයි විශ්වාස කරන ස්වභාවික සිදුවීම් තේරුම් කිරීම සඳහා අද්භූතත්වය යොදාගනු ලබන සහ විශ්වයේ හා මනුෂ්‍යත්වයේ ස්වභාවය විස්තර කිරීම සඳහා යොදා ගනු ලබන ජන කථා/ මිථ්‍යා/ පුරාවෘත්ත සමුහයක් පුරාණෝක්ති ලෙස හැඳින්වෙයි. සමාජයක මූලික කාර්යභාරයක් ඉටු කරන ආඛ්‍යානවලින් සමන්විත මෙම පුරාණෝක්ති මිථ්‍යාවන් ලෙස පමණක් හැඳින්වීම වැරදි බව තිලක් පසු කලෙක වටහා ගත්තේ ය. මේ වන විට යුනෙස්කෝව පවා මේවා අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන්( Intangible culture heritage ) ලෙස නම් කොට තිබේ. ඒ අනුව වැරදි සහගත යන්න හැඟවෙන "මිච්චා"නම් වන පාලි වචනයේ සහ Myth යන ඉංග්‍රීසි වචනය එකිනෙකට වෙනස් බව ඔහු වටහා ගත්තේ ය.

එමෙන්ම යම් ජන විශ්වාසයක් එක් වරම මිථ්‍යාවක් ලෙස දැක් වූ පමණින් සමාජය එලෙසින්ම එය පිළිගන්නට මැලි වෙයි. කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ විශ්වාසයන් මිනිසුන්ගේ සිත්වලින් පලවා හැරීම ද පහසු නැත. එවිට මිනිසුන් කරන්නේ තම විශ්වාසයන් නොව එවැනි ලිපි ප්‍රතික්ෂේප කිරීම යි. ඉන්පසු එවැනි පුවත්පත් පවා කියවීම පවා ඔවුහු අතහැර දමති. මෙම myth යන වදන එවක සිංහලයෙන් මිථ්‍යා ලෙස නම් වුව ද එය මේ වන විට "මිතයන්"ලෙස හැඳින්වීමට බොහෝ විද්වත් ලේඛකයෝ පෙළඹී සිටිති. නමුත් එවක මේ "මිතයන්"යන අලුත් වදන ප්‍රචලිතව තිබුණේ නැත.
නමුත් මේ අතරින් කාන්තාවන් මූලික කරගනිමින් බිහි වූ සාම්ප්‍රදායික ගුප්ත විශ්වාස අතර සමාජයට අහිතකර සාවද්‍ය මත ද බොහෝ සෙයින් තිබෙන නිසා මේවා පිළිබඳ විශේෂයෙන් විමර්ශනය කර රැජිණට ලියන්නට තිලක් උනන්දු විය. ඒ කාන්තාවන් එම දුර්මතවලින් ගලවා ගැනීමේ අවංක චේතනාව පෙරදැරිව සහ කාන්තාවන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි යන විශ්වාසයෙනි.
මව්කුසින් බිහි වූ අලුතම බිලිඳුන් ස්වභාවික පරිසරයට මුහුණ දෙනවිට සමේ මතුවන රත් පැහැ ගැන්වීම් රත ගාය ලෙස දක්වමින් රත කල්කය දීම එවැනි සාම්ප්‍රදායික දුර්මතයකි.
එසේම මව් කිරි බොන බිලිඳාගේ ආමාශයට කිරි සමග වාතය ද ඇතුළුවීම නිසා සවස් කාලයට බඩ පිපුම හේතුවෙන් බිලිඳුන් එම අපහසුව දක්වන්නේ හැඬීම තුළිනි. මෙය බාලගිරි නමින් හඳුන්වන යක්ෂනියක ගේ දෝෂයක් ලෙස විශ්වාස කර "බාලගිරි දෝෂය අද නොවෙයි හෙට" යනුවෙන් ගෙයි ඉදිරිපස උළුවස්සේ ලියා තැබීම තවමත් බොහෝ නිවෙස්වල දකින්නට ලැබේ.
මෙවැනි දේවල් අනාවරණය කරගෙන රැජිණ ට තිලක් ලියූ ලිපිවලට ඇතැම් දෙනාගෙන් ප්‍රශංසාත්මක ප්‍රතිචාර ලැබිණි.එවන් කරුණු විවෘතව ගෙන හැර දැක්වීම සම්බන්ධයෙන් දිනපතාම පාහේ ඔහුට ප්‍රශංසාත්මක දුරකථන ඇමතුම් ලැබෙන්නට විය. එසේ දුරකතන ඇමතුම් දුන් ඇතැම් කතුන් පවසා සිටියේ එම ලිපිවල සඳහන් කරුණු තමන් හා නැන්දම්මා අතර පවතින වාදයෙන් ඇය පැරදවීමට මහත් පිටිවහලක් වන බවකි. ඒ අනුව තමන් ප්‍රිය කළ මාවතට දොර විවර වී ඇති බව සිතා තිලක් මෙමගින් බොහෝ සතුටට පත්විය.
අද ද තිලක්ගේ සමීපතම හිතවතෙකු වන දැනට අරුණ පුවත්පත් ආයතනයේ බෙදාහැරීම් කළමනාකරු ලෙස සේවය කරන ලිච්ඡවි විජේකෝන් එවකට සුමති පුවත්පත් ආයතනයේ අලෙවි පර්යේෂණ නිලධාරී තනතුර හෙබවීය. ඉඩක් ලද විට තිලක්, ලිච්ඡවි සහ වජිර, ගල්හේන,ආරියසේන, දමිත්, රංජන්, පලිහක්කාර වැනි බෙදා හැරීම් අංශයේ අනෙකුත් නිලධාරීන් සමඟ සන්ධ්‍යා කාලයේ සුහද හමුවලට එක් විය. සාමාන්‍යයෙන් මෙවැනි හමුවල දී රැජිණ ප්‍රවර්ධනය පිළිබඳව ද ඔවුන් සමඟ අදහස් බෙදා ගැනීමට තිලක් අමතක කළේ නැත. සමාජයේ පවතින සාම්ප්‍රදායික දුර්මතවලට පහර දෙමින් ලිපි ලියමින් සිටි සමයේ ද මෙබඳු හමුවකදී තිලක් "කොහොමද දැන් රැජිණ ?" යනුවෙන් විමසුවේ ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් අපේක්ෂාවෙනි.
ලිච්ඡවි විජේකෝන්
නමුත් එම අවස්ථාවේ තිලක් කෙසේවත් නොසිතූ ලෙස ඒ මොහොතේ ඔවුහු මුහුණෙන් මුහුණ බලා ගත්හ. තිලක්ට ඇති වුණේ මහත් ගැටලුවකි.
"ඇයි මොකක්ද ප්‍රශ්නෙ?"
ඔවුන්ගෙන් පිළිතුරක් ලැබුණේ තිලක් මෙම ප්‍රශ්නය දෙතුන් වතාවක්ම යළි යළිත් නැගූ පසුව ය.
"අර ඔයා රත ගාය බාලගිරි දෝස බොරු කියලා ලියන ලිපිවලට සමහරු කැමති නෑ තිලක් මහත්තයා. මිනිස්සු මේවයින් දැනුවත් වෙන බව ඇත්ත. ඒත් ඒවයින් පත්තර අලෙවිය වැඩි වෙන්නේ නෑ. සමහරු මොනවද මේ යන බහු බූත? කියලා පත්තරේ ගන්න එකත් නවත්තලාලු. සමහරු කියනවාලු බුද්ධාගම නැතිකරන්න අන්‍යාගම්කාරයෝ ඔය මිහිහට සල්ලි දෙනවා ඇති කියලා. ඒ වගේම අනික කාන්තා පත්තරවල වැඩි දෙනෙක් කියවන්නේ ඔය වගේ ලිපි ලු. එක පත්තර ඒජන්ට් කෙනෙක් ගේ නෝනා කෙනෙක් කියලා තියෙනවා මීට පස්සෙ රැජිණ මෙහාට ගන්නවත් එපා කියලා. ඔය මතය තවත් පැතිරුණොත් පත්තරේ වැටෙන්න පුළුවන්"
ප්‍රණීත් අභයසුන්දර
ඔවුන් එකි`නෙකා පැවසුවේ තිලක් තුන් හිතකින්වත් නොසිතූ දෙයකි.එවිට ඒ වනවිට යාන්තමින් පැවැති බමන මත සිය දහස් ගුණයකින් ඉහළ නැංවුණු බවක් ඔහුට දැනෙන්නට විය. අවංක අරමුණකින් සමාජයට යහපත් දේ සහ අයහපත් දේත්, සැබෑව සහ බොරුවත් පෙන්වා දීමට දැරූ උත්සාහය සමාජය විසින්ම ප්‍රතික්ෂේප කරන්නේ නම් තමාගේ මේ ව්‍යායාමය කුමකට දැයි තිලක් තුළ දැඩි කලකිරීමක් ඇති වුණි. විශ්ව විද්‍යාල සිසුවකුව සිටියදී කුමරි පුවත්පතට ලේඛකයෙකු ලෙස සම්බන්ධව සිටි, ප්‍රණීත් අභයසුන්දර මේ කියන කාලවකවානුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. දැන් ඔහු එම විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්යවරයෙකි. ප්‍රණීත් හමු වූ දිනෙක තිලක් තමන්ට ඇතිවී තිබූ සිත් වේදනාව මත පදනම් වූ මානසික පසුබෑම පිළිබඳව ප්‍රණීත් හා පැවසීය. එවිට ප්‍රණීත් තිලක්ට දුන්නේ අගනා උපදේශයකි.
"උඹ කරන වැඩේ හොඳයි. හැබැයි මිනිස්සුන්ගෙ ඔළුව හදන එක පරිස්සමින් කරන්න ඕන වැඩක් පුතෝ. නැත්නම් උන්ගේ ඔළු හදන්න ගිහින් අන්තිමට උඹේ ඔළුවයි කඳයි බඩයි සේරම නැති වෙන්න පුළුවන්"
තිලක් සේනාසිංහ
කෙසේ වුවද තමාට කිසිදු පෙරළියක් මෙම පුවත්පත්වලින් කළ නොහැකි බව තිලක් ඒ වන විට වටහා ගෙන තිබිණි. ඔහු රැජිණ පුවත්පතට ද සතිපතා නවකතාවක් රචනා කළත් ඒ සමහර නවකතාවලට ඔහු තම සැබෑ නමවත් යෙදුවේ නැත.
මෙම ලිපි පෙළ සම්පාදනය කරන ලේඛිකාව රැජිණ ට සම්බන්ධ වන්නේ 1992 වසරේ මැයි මාසයේ දී ය. එම වසරේ අග භාගය වන විට රැජිණ උප කර්තෘ අනුර එස්.පී. පෙරේරා රැජිණෙන් සමුගෙන සිටියේය. එහි කර්තෘ මණ්ඩලයේ සිටි පළමු කාන්තා සාමාජිකාව පද්මිණී කිඳෙල්පිටිය ද එම වසරේම රැජිණෙන් ඉවත් වී තිබුණේ ඇයට රජයේ රැකියාවක් ලැබීම හේතුවෙනි. ඉන්පසු මෙම ලේඛිකාවට ස්ථිර පත්වීමක් ලබා දී රැජිණ පුවත්පතට සම්බන්ධ කර ගැනීමට බන්දුල පියවර ගත්තේය.
පද්මිණී කිඳෙල්පිටිය
මේ අතර සුමති ආයතනයෙන් ඉරිදා ජාතික පුවත්පතක් එළිදැක්වීමේ කතිකාවතක් බන්දුල සහ මෙම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරුන් අතර ඇති වී තිබිණි. සුමති ප්‍රකාශකයන් විසින් සීමාසහිත සුමති පුවත්පත් පෞද්ගලික සමාගම නමින් නව සමාගමක් පිහිටුවා ඉරිදා ලක්බිම පුවත්පත 1994 වසරේදී ආරම්භ කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉන්පසු බන්දුල පද්ම කුමාර රැජිණ, සරසි, අරලිය ඇතුළු අනෙකුත් පුවත්පත්වල ප්‍රධාන කර්තෘ පදවියෙන් ඉවත් වී ඉරිදා ලක්දින ප්‍රධාන කර්තෘ බවට පත්විය. එම පුවත්පත්වල ප්‍රධාන කර්තෘ තනතුරු හිටපු කර්තෘවරුන්ටම භාර විය.
"ඉන්දු; ඔයා පත්තරේ වැඩි වැඩ කොටසක් බාර ගන්න. බන්දු අයියා මට සති දෙකකට දීපු කොන්තරත් එකක් තමයි මම තාම අවුරුදු හතක් තිස්සේ තවම ගහගෙන ඉන්නේ"
ලලිත් ඇතුලත්මුදලි
ඔහු කීයේ මෙම ලේඛිකාව පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයට පැමිණි අලුතම එය කෙරෙහි පවත්නා උනන්දුව දෙගුණ තෙගුණ කරමිනි. ඒ අනුව පුවත් පත ජනප්‍රිය කරවීම පිණිස වන නව උපාය මාර්ග සෙවීමට මෙම ලේඛිකාවට සිදු විය.එහි ආරම්භක පියවර වූයේ මෙම ලේඛිකාව රැජිනට සතිපතා ලිවීම ඇරඹූ ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමනී පෙම් කතාව ය. ඒ 1993 අප්‍රේල් 23 දා ඇතුලත්මුදලි මහතා කිරුළපනේ දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී සිදු කරන ලද ඝාතනයත් සමගිනි.
කුමුදුනී ගුණසේකර
ජාතික තරුණ සේවා සභාවේ අත්කම් හා රූපලාවණ්‍ය පුහුණු උපදේශිකාවක ලෙස කටයුතු කළ කුමුදිනී ගුණසේකර 1995 වසරේදී පමණ රැජිණ සඳහා එම ක්ෂේත්‍රවලට අදාළ ලිපි විශේෂාංගවලට කරුණු සපයා දෙමින් විශාල සහයෝගයක් ලබා දුන්නා ය. මෙවැනි කාන්තාවන්ට අදාළ රූපලාවණ්‍ය, ඉවුම් පිහුම්, අත්කම් සහ මැහුම් යන ක්ෂේත්‍රයන්හි නිපුණ ශිල්පීන් ශිල්පිනියන් තව සෑහෙන පිරිසක් පුවත්පතට ලිපි ලබා දුන්නත් කුමුදිනී පිළිබඳ සඳහන් කරන්නේ විශේෂ හේතුවක් නිසා ය.
ඒ කාලයේ අපේ රටේ පැවති චන්ද්‍රිකා කුමාරතුංග රජයෙහි කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරය හෙබවූයේ මහින්ද රාජපක්ෂ යි. ඔහු විසින් 1995 වසරේදී පිහිටුවන ලද කම්කරු හා වෘත්තීය පුහුණු අධිකාරියට ජාතික තරුණ සේවා සභාවෙන් ඉවත් වී සම්බන්ධ වූ කුමුදිනීට රැජිණ පුවත්පත ද සම්බන්ධ කරගෙන අලුත් වැඩපිළිවෙළකට යාමේ අදහසක් තිබිණි. විශේෂයෙන් රැජිණ අනුග්‍රහයෙන්, වෘත්තීය පුහුණු අධිකාරියේ මෙහෙයවීමෙන් රට පුරා කාන්තාවන් සඳහා නොමිලේ අත්කම් හා රූපලාවණ්‍ය වැඩමුළු පැවැත්වීම ඒ අතරින් ප්‍රධාන විය.
මේ වැඩපිළිවෙළ පිළිබඳව ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දිනයක් සහ වෙලාවක් යොදා ගත් කුමුදිනී තිලක්ට දුරකතන ඇමතුමක් දුන්නාය.
" තිලක් මහත්තයා මම අපේ ඇමතිතුමාව හම්බ වෙන්න ඇපොයින්මන්ට් එකක් දාගත්තා ........හවස හතරට. හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ ඇමතිතුමාගේ ගෙදරට ඒ වෙලාවට එන්න කියලා අපට ඇපොයින්මන්ට් එක දුන්නා. තිලක් මහත්මයා නොවැරදීම ඒ වෙලාවට එහාට එන්න.අපි මේ වැඩේ ගැන ඇමතිතුමත් එක්කම කතා කරමු"
චන්දන විදානපතිරණ
ඇගේ ඉල්ලීම පිළිගත් තිලක් නියමිත වෙලාවට එම ස්ථානයට ගියේය. තිලක් සහ කුමුදිනීත්, කලක් ජාතික තරුණ සේවා සභාවේ තනතුරක් දරා පසුව සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස වෘත්තීය පුහුණු අධිකාරියට එක් වූ චන්දන විදානපතිරණ, හෙන්රි දිසානායක යන මහත්වරුන් ද මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයාගේ නිල නිවසේ පැවති එම සාකච්ඡාවට සහභාගි වූහ. ඇමතිවරයා මෙම පිරිස පිළිගෙන ඉතාම සුහදශීලීව සිය කතාබහ ඇරඹීය.
"අපේ ලොක්කී (චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය) කියලා තියෙනවා මහින්ද වීදි සටන් කාරයා. ඔය යකාට කවදාවත් ඔය කම්කරු ඇමතිකම කරන්න බෑ ප්‍රයිවට් සෙක්ටර් එකත් එක්ක මොකක් හරි ලෙඩක් දාගන්නවමයි කියලා. ඉතින් බලන්න අපේ ලොක්කිට ඕන වෙලා තියෙන්නේ වැඩේට ගැලපෙන ඇමතිලා පත් කරන්න නෙමෙයි, ඇමතිලාට කෙලවෙන වැඩ භාර දෙන්නනේ"
එසේ පැවසූ මහින්ද අමාත්‍යවරයා උස් හඬින් සැහැල්ලු ලෙස සිනාසුණේය. ඔහුගේ ස්වරයෙහි ද කෝපයක් පැවතියේ නැත.
තිලක් ඉන්පසු සිය අදහස අමාත්‍යවරයාට ඉදිරිපත් කළේය.
"අපේ රටේ එක එක ආයතනවල එක එක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වෘත්තීය පුහුණුව ලබා දෙනවා.කම්කරු දෙපාර්තමේන්තුවේ මිනිස් බල අංශයත් එක එක විෂයන් සම්බන්ධ වෘත්තීය පුහුණුව ලබා දෙනවා තමයි. නමුත් මේවා එච්චර ප්‍රමිතිගත නෑ. ඒ වගේම රටේ ශ්‍රම අවශ්‍යතාව නියම විදිහට සපුරන්නත් බෑ.නමුත් ඔබතුමාගේ වෘත්තීය පුහුණු අධිකාරිය ඒ වෙනුවෙන්ම ආරම්භ කරපු එකක් නිසා ඔබතුමාට ජාතික මට්ටමෙන් රටේ සංවර්ධනයට ඉවහල් වෙන ලොකු වැඩ කොටසක් කරන්න උදව් වෙන්න අපිටත් පුළුවන්. අපි දෙගොල්ලොම කාන්තාවන්ට මේ එක එක ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුවක් ලබාදීමේ මූලික පෙරහුරුවක් හැටියට රට පුරා වැඩමුළු පවත්වලා ඒවා සහභාගි වෙන අයට සහතිකයක් දෙමු. ඒ සහතිකයත් එක්ක වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාවකට සෘජුවම සම්බන්ධ වෙලා පුහුණුව ආරම්භ කරන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න ඔබ තුමන්ලට පුළුවන්නෙ"
වැඩමුළුවක් අතරතුර මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා සමඟ තිලක්
"ඒක බොහොම හොඳ අදහසක්; ඒ අදහසට මමත් එකඟයි" ඇමති මහින්ද රාජපක්ෂ කීය.
මේ අවස්ථාවේ ඔහු ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එම ස්ථානයට පැමිණියා ය.
"හැබැයි මම ඔය කාන්තාවන් සම්බන්ධ වැඩ කරනවට ශිරන්ති නම් කොහෙත්ම කැමති නෑ. ඒත් ඉතින් මේවා එහෙම දේවල් නෙමෙයිනේ නේද කුමුදිනී" යනුවෙන් පැවසූ රාජපක්ෂ මහතා සිය බිරිඳ දෙස බලා උස් හඬින් සිනාසුණේය.
තවත් සෑහෙන වෙලාවක් පිළිසඳර කතාබහේ යෙදෙමින් සිට ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආගන්තුක සංග්‍රහ ද භුක්ති විඳි පිරිස නික්මුණහ.
ඊට දිනකට දෙකකට පමණ පසු කුමුදිනීගෙන් තිලක් ට දුරකථන ඇමතුමක් ලැබිණි.
"තිලක් මහත්තයගෙ යෝජනාවට අපේ ඇමතිතුමා ඉහළින්ම කැමති වුණා"
" ඒ වුණාට මේක මගේ වැඩක් නෙමෙයිනෙ කුමුදිනී මිස්. ඔයාලගේ මඟ පෙන්වීමෙන් රටේ පොදු යහපතට කරන සාමූහික වැඩක් නේ" තිලක් පිළිතුරු දුන්නේ ය.
ඊළඟට වැඩමුළුව සඳහා විවිධ නම් යෝජනා කරනු ලැබීය. අවසානයේ "ලලනා ප්‍රතිභා" යනුවෙන් තිලක් යෝජනා කළ නමට මහින්ද රාජපක්ෂ ඇමතිතුමා ඇතුළු සියලු දෙනාගේම අනුමැතිය ලැබී ඇති බව කුමුදිනී ගුණසේකර තිලක්ට දන්වා සිටියා ය..
තවත් කොටසකින් යළි හමුවෙමු.