The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (29) : "රැජිණ කර්තෘ කෝපි කාලේ මිනිහෙක්" බහු ජාතික සමාගමකින් චෝදනා (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

December 9, 2024 • 8:44 AM

තිලක මතක (29) : "රැජිණ කර්තෘ කෝපි කාලේ මිනිහෙක්" බහු ජාතික සමාගමකින් චෝදනා (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශකයේ මැද භාගය යනු රූපලාවණ්‍ය සහ නව තාලයේ විවිධ ඉවුම් පිහුම් වැනි ක්ෂේත්‍ර පිළිබඳ විශාල පිබිදීමක් ඇතිවී තිබූ වකවානුවකි.
  • රූපවාහිනී චැනලවල සතියේ දිනවල උදය වරුවේ ප්‍රචාරය වන කාන්තා වැඩසටහන් අතරට මෙම විශේෂාංග ද නොවරදවාම ඇතුළත් විය.
  • එම කාලයේ "ලලනා ප්‍රතිභා" ලෙසින් රැජිණ පුවත්පත වෘත්තීය පුහුණු අධිකාරිය ද සමග එක්ව ආරම්භ කරන ලද කාන්තා වැඩමුළු රට පුරා ඉතාමත් සාර්ථක අන්දමින් සිදු කෙරිණි.
  • සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ලද මෙම වැඩමුළු දෙදින වැඩමුළු ලෙසින් සති අන්ත දිනවල පවත්වන ලද අතර මසකට එකක් ලෙසින් සංවිධානය කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
   
1990 දශකයේ මැද භාගය යනු රූපලාවණ්‍ය සහ නව තාලයේ විවිධ ඉවුම් පිහුම් වැනි ක්ෂේත්‍ර පිළිබඳ විශාල පිබිදීමක් ඇතිවී තිබූ වකවානුවකි. රූපවාහිනී චැනලවල සතියේ දිනවල උදය වරුවේ ප්‍රචාරය වන කාන්තා වැඩසටහන් අතරට මෙම විශේෂාංග ද නොවරදවාම ඇතුළත් විය. එම කාලයේ "ලලනා ප්‍රතිභා" ලෙසින් රැජිණ පුවත්පත වෘත්තීය පුහුණු අධිකාරිය ද සමග එක්ව ආරම්භ කරන ලද කාන්තා වැඩමුළු රට පුරා ඉතාමත් සාර්ථක අන්දමින් සිදු කෙරිණි. මෙහි විශේෂත්වය වූයේ මෙවැනි දේවල් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට එකල හරි හැටි මගක් නොතිබුණු රටේ දුර බැහැර ප්‍රදේශවල විසූ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩමුළු ප්‍රධාන නගර සහ තදාසන්න ප්‍රදේශවල නොව ඊට වඩා දුර බැහැරට ගෙන යාම ය.
 සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ලද මෙම වැඩමුළු දෙදින වැඩමුළු ලෙසින් සති අන්ත දිනවල පවත්වන ලද අතර මසකට එකක් ලෙසින් සංවිධානය කෙරිණි. සාමාන්‍යයෙන් මේ වැඩමුළු උදේ අටට ආරම්භ වී සවස හතරට අවසන් කෙරේ. නමුත් සමහර වැඩමුළු ආරම්භ කිරීමට සිදුවූයේ උදේ දහය ට පමණ ය. ප්‍රමාද වී පැමිණෙන එම කාන්තාවන් සවස තුන වන විට එය අවසන් කරන ලෙස ඉල්ලා සිටිමේ දී එයට හේතුව නොවිමසා බැරි විය.
       
"හවස් වෙනකොට අපේ පැත්තට අලි එනවා මිස්. ඒ හින්දා ඊට කලින් ගෙදර යා ගන්න ඕනේ"
     
ඔව්හු එම වැඩමුළු මෙහෙය වූ කුමුදිනී ගුණසේකරට කීහ.
 
කුමදිනී ගුණසේකර වැඩමුළුව කරන අතරතුරදී
       
එවන් බාධක ගැන පවා නොතකා ඉතාමත් දුර සිට පැමිණ සිටි මෙම අසරණ තරුණියන්ගේ සංවේදී කතා පුවත් අසන විට සැබවින්ම ඔවුන්ගේ මේ දැනුම් පිපාසය සංසිඳුවීම පිණිස මීට වඩා යමක් කළ හැකි නම් යන සිතිවිල්ල තිලක් ගේ සිත පීඩාවට පත්කළේය.
       
විශාල කාන්තා සහභාගීත්වයක් පැවති මෙම වැඩමුළුවලදී ඔවුන් වෙනුවෙන් උපරිමයෙන්ම යමක් කිරීමට කුමුදිනී ගුණසේකර ඇතුළු ඇගේ කණ්ඩායම කැපවී ක්‍රියා කළහ. එනිසාම එම කාන්තාවන් වැඩමුළුවේ දෙවන දින අවසාන වන මොහොතේ කුමුදිනී ගේ දෙපා අල්ලා වැන්දේ තම කෘතඥතාවය පළකිරීමට ඊට වඩා සුදුසු අන් ක්‍රමයක් ඔවුන් නොදත් නිසා විය හැකිය. එය තිලක් නිතර දුටු අතිශය සංවේදී දසුනක් විණි.
       
මොනරාගල මහානාම විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ ලලනා ප්‍රතිභා වැඩමුළුවක් සඳහා එදිනට සහභාගි වන කාන්තාවන්ට උදේ සහ සවස පාන වර්ගයක් නොමිලේ සැපයීමට හැකි බව වැඩමුළුවට දෙදිනකට පෙර තිලක් ට කතා කර කීවේ සුමති දැන්වීම් අංශයේ එවකට සිටි කළමනාකාරවරයා වූ රේ ඉලංගකෝන් ය. ඒ සඳහා එක්තරා බහුජාතික සමාගමක් කැමැත්ත පළ කර තිබූ අතර තිලක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිරෝධයක් නැගුවේ නැත.
 
IMG 20241208 WA0000තිලක් සේනාසිංහ ලලනා ප්‍රතිභා වැඩමුළුවක් අමතමින්
       
නියමිත දිනයේ උදෙන්ම තිලක් එම වැඩමුළුව පැවැත්වීමට නියමිත පාසලට ගියේ සියලු සංවිධාන කටයුතු සාර්ථකව සිදුවන්නේ දැයි සැක හැර දැන ගැනීම සඳහා ය. ඔහු යන විට පෙර කී පාන වර්ගය බෙදා හරින බහුජාතික සමාගම විසින් එම පාන වර්ගය සම්බන්ධ වර්ණ කොඩි සහිත කණු පාසලේ ප්‍රධාන ගේට්ටුව ළඟත් පාසල් භූමියේ තැනින් තැනත් සිටුවා එම කොඩි සුළඟට ලෙලදෙමින් තිබිණි. ඒ බැලූ බැල්මටම කානිවල් පොලක් සිහි ගන්වමිනි. තිලක් එහි යන විටත් එම කොඩි කණු සිටුවා අවසන් වී තිබුණේ නැත. බැලූ බැල්මට දිස්වූයේ එය අදාළ බහුජාතික සමාගම විසින් පවත්වනු ලබන වැඩමුළුවක් ලෙස ය.
       
මෙවැනි දෙයක් පිළිබඳව තිලක්ව කිසිවෙකු විසින්වත් දැනුවත් කර නොතිබිණි. ඔහු කොඩි කණු සිටුවමින් සිටි තරුණයන් වෙත ගියේය.    
     
 "මොකක්ද මෙතන මේ වෙන්නේ?"
       
"අපි නම් දන්නේ නෑ සර්, අපිට අපේ සර් කිව්වා අද මෙතන කොඩි කණු හිටවන්න කියලා"
       
" ඔයාලගෙ කොම්පැනිය අද මේ වැඩසටහනට සහභාගි වෙන අයට මෙහෙම බීම වර්ගයක් දෙන්න අපෙන් අවසර ගත්තා තමයි. නමුත් මට කවුරුවත් කිව්වෙ නෑ මේ විදිහට මුළු හෝල් එක අවට හැම තැනම කොඩි කණු හිටුවනවා කියලා."
     
 "ඒව නම් දන්නෙ නෑ සර්; අපට කියපු දේ තමයි අපි කළේ"
 
IMG 20241209 WA0003
       
තවදුරටත් මේ තරුණයන් සමග කතාබහ කිරීමෙන් ඵලක් නැති බව අවබෝධ කරගත් තිලක් වහාම සුමති දැන්වීම් කළමනාකරුට දුරකතන ඇමතුමක් ගෙන මේ පිළිබඳව විමසා සිටියේය.
     
 "නෑ නෑ තිලක් මටත් කොඩි හිටවන කතාවක් නම් කිව්වේ නෑ. බීම එකක් දෙන එක ගැන විතරයි කිව්වේ;පොඩ්ඩක් හිටපන් මම ආයිත් චෙක් කරන්න"  
     
 ඔහු ද ඒ පිළිබඳව ක්ෂණිකව කීය.
     
"උඹ තරහ වෙන්න එපා රේ ,කොහොමත් මං මුන් ටික දැන් එලවා ගන්නවා."
       
තිලක් දැන්වීම් කළමනාකරුට පවසා ඇමතුම විසන්ධි කළේය. ඉන්පසු නැවතත් කොඩි සිටවමින් සිටි තරුණයන් වෙත ගිය තිලක්,       
 
"අපේ වැඩමුළුවට සහභාගී වෙන අයට ඩ්‍රින්ක් එකක් දෙනවා කියලා ඔයගොල්ලන් මේ කරන්නේ බලහත්කාරයෙන් ඔයාලගේ ගරිල්ලා මාකටින් වැඩක්. මේ වැඩමුළුව කරන්නේ අපි. ඒකට සහභාගි වෙන අයට ඩ්‍රින්ක් එකක් දීලා ඔයාල ඒක ඔයාලගේ වැඩක් විදිහට පෙන්නන්න හදන එකයි මේ කරන්න යන්නේ. කරුණාකරලා ඔය කොඩි ටිකත් අකුලාගෙන යන්න, අපිට ඔයගොල්ලන්ගේ ඩ්‍රින්ක්ස් අවශ්‍ය නෑ.ඒ ගැන අපි බලා ගන්නම්"
   IMG 20241208 WA0004මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයාව මල් කළඹක් දී පිළිගනිමින්     
තරුණයන් කිහිපදෙනා එක්ව සාකච්ඡා කර ඉන්පසු යළිත් තිලක් වෙත පැමිණියහ.
       
"සමාවෙන්න සර්; අපට වැරදි ඉන්ෆොමේෂන් එකක් ලැබිලා තියෙන්නේ; අපි යන්නම්"
       
ඉන්පසු ඔවුහු කොඩි ටික අකුලා ගත් නමුත් එම සමාගම සිය කැමැත්තෙන් බෙදන්නට පොරොන්දු වූ පාන වර්ගය එලෙසින්ම එම දින දෙකේදී උදේට සහ දවල්ට ලබා දෙන ලදී. එහෙත්, ඉන්පසු එම බහු ජාතික සමාගම රැජිණ කර්තෘවරයා නවීන සංකල්පවලට එකඟ නොවන කෝපි කාලේ මිනිහකු බවත්, තම සමාගමට එරෙහිව කටයුතු කරන ඔහු වැන්නවුන් හා කටයුතු කිරීම ගැන දෙවරක් සිතා බැලීමට සිදු වන බවත් එම සමාගම සුමති පාලනාධිකාරියට පණිවිඩ එවා තිබුණි. "අපිට තව හොඳ හොඳ දේවල් ඉස්සරහට බලා ගන්න පුළුවන් මල්ලී; උන් දැනටමත් මීඩියාවල කනෙන් රිංගන්න පටන් අරන් ඉවරයි.ඉස්සරහට මීඩියාකාරයන්ට වෙන්නෙ උන්ට රෙදි නැතුව කඩේ යන්න. කෝකටත් උඹත් පරිස්සමෙන් වැඩ කරපන්. අනික උන් නරි වගේ උඹලට වට වෙලා පහර දෙන්න ඉඩ තියනවා" තිලක් ගේ මේ කතාව ඇසු ඔහු ගේ සමීපතමයකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසේන කිරිවත්තුඩුව කීය.
         
නමුත් මෙම වැඩමුළු මාලාව කොයිතරම් සාර්ථක වුණේදැයි කිවහොත් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පවා මේ පිළිබඳව කතා කර තිබුණි.
       
"සමහරු බලාපොරොත්තු වුණා මම පෞද්ගලික අංශය එක්ක ආරවුල් ඇති කරගන්න කම්කරු ඇමති කෙනෙක් වෙයි කියලා. නමුත් අපේ වෘත්තීය පුහුණු අධිකාරිය රැජිණ පත්තරේත් එක්ක එකතු වෙලා ඉතාමත් සාර්ථක ලෙස අපි රට පුරා කාන්තාවන් වෙනුවෙන් වැඩමුළු මාලාවක් පවත්වමින් යනවා."
       
ඇමතිවරයාගේ මේ කතාව පසුව හැන්සාඩ් වාර්තාවට පවා එක්වී ඇත.
       
කෙසේ වුවද එවක ජනාධිපතිනියගේ පාර්ශවය විසින් මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් එල්ල වී තිබූ නොයෙකුත් විවේචන සහ මතවාද හේතුවෙන් පසුව ඔහු ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධුරයට මාරු කරනු ලැබිණි. මෙම ක්ෂේත්‍රය කාන්තාවන්ට අදාළ නොවන බව බැලූ බැල්මටම පෙනෙන හෙයින් රැජිණ සමඟ පවත්වන වැඩමුළු එතැනින්ම අවසන් වේයැයි බොහෝ දෙනෙක් කල්පනා කළහ. නමුත් සත්‍ය තත්ත්වය එය නොවේ.
 
  fish in Negomboධීවර කාන්තාවන් නිහඬව අතිවිශාල කාර්ය භාරයක් සමස්ත ධීවර කර්මාන්තය උදෙසා ඉටු කරන බව     
 
තිලක් ගේ පාසල් මිතුරු ආනන්ද ලාල් ලියනගේ ඒ වන විට ධීවර සහ ජලජ සම්පත් නියෝජිත (NARA ) ආයතනයෙහි ව්‍යාප්ති නිලධාරී ලෙස කටයුතු කළ අතර ඔහු සිය පශ්චාත් උපාධි නිබන්ධනය සඳහා තෝරා ගෙන තිබුණේ මීගමුව ආශ්‍රිත ධීවර ජන සමාජය සම්බන්ධ තේමාවකි. එහිදී ආනන්ද මීගමුවෙහි ධීවර ජනාවාසවල කරනු ලබන ගවේෂණවලට තිලක් ද සම්බන්ධ වූයේ මහත් කැමැත්තෙනි. මේ අනුව ධීවර සහ ජලජ සම්පත් කියූ කල එහි මතුපිටින් කාන්තාවන් සම්බන්ධයෙන් යමක් නොහැඟෙන මුත් ඔවුන් නිහඬව අතිවිශාල කාර්ය භාරයක් සමස්ත ධීවර කර්මාන්තය උදෙසා ඉටු කරන බවට බොහෝ තොරතුරු සොයා ගැනීමට තිලක්‌ ට හැකි විය. ඒ අනුව ධීවර කාන්තාවන් සඳහා ඔවුන්ට ගැලපෙන ලෙස වැඩමුළු පැවැත්වීම සම්බන්ධයෙන් තිලක් කල්පනා කළේය.
       
මේ වන වන විට කුමුදිනී ගුණසේකර ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයේ අලුතින් ස්ථාපිත කරන ලද වනිතා ප්‍රජා සංවර්ධන ඒකකයට මාරු වී සිටියා ය. ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට මිරිදිය සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ද ඇතුළත් කර තිබූ නිසා එහි ක්ෂේත්‍රයන් පුළුල්වීම මත කාන්තාවන් සම්බන්ධයෙන් සෑහෙන වැඩ කොටසක් කළ හැකිව තිබිණි. ඒ අනුව ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය, රැජිණ සමඟ එක්ව නැවතත් වැඩමුළු මාලාවක් සංවිධානය කළ අතර "දියවර සොබා වනිතා" යනුවෙන් එම වැඩමුළුවලට නම තැබුවේ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා ය.
 
IMG 20241208 WA0003ලලනා ප්‍රතිභා වැඩමුළුවකදී තිලක් සමග මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා
       
 
ධීවර ප්‍රජාව අතර වෙනම උප සංස්කෘතියක් තිබිණි . ඔවුන්ගේ ආහාර රටාවන් ද ඉතා අපූරු ය. මෙම කාන්තාවන් විශාල ශාලාවල් තුළ පවත්නා වැඩමුළුවලට සහභාගී වීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් නිසා ඔවුන් අතරට ගොස්, ඔවුන්ට මේ අලුත් දේවල් හඳුන්වා දෙන අතරතුරේ ඔවුන්ගෙන් බාහිර සමාජයට ගතහැකි ආහාර රටාවන් වැනි අනෙකුත් දේවල් අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගත හැකි වැඩපිළිවෙළක් පිළිබඳ තිලක් කල්පනා කළේය.මෙම අදහස කුමුදිනී ඇතුළු අමාත්‍යංශයේ ඇතැමුන් තුළ ද විය. මීගමුවේ වෙරළබඩ සැණකෙළියක් සංවිධානය වුයේ මේ අරමුණ ඉටුකිරීම සඳහා ය. "වාඩිය" නමින් ඊට නමක් ද යොදා මීගමුවේ සුවිශේෂ ආහාර ඇතුළු අනිකුත් දේවල් ඇතුළත් වෙළඳ කුටි ද ඉදිකර නව තාලයේ වැඩසටහනක් සංවිධානය කළ අතර තිලක් ඒ වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් ඉටු කළේ ය. ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයාගේ අනුමැතිය ද ඊට ලැබී තිබිණි. නමුත් එය සංවිධානය වන අතරේ ඊළඟට එම අමාත්‍යාංශයම මීගමුවේ නගර ශාලාවේ කාන්තා වැඩමුළුවක් සංවිධානය කරන ලෙස දන්වා තිබුණේ "වාඩිය" වෙනුවට ය. මින් කම්පාවට පත් වූ තිලක් මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා ඇමතීය.
       
"මීගමු ටවුන් හෝල් එකේ වැඩසටහනක් තියෙන එකේ වැරැද්දක් නෑ ඇමතිතුමා. නමුත් මේ වගේ හෝල්වල තියෙන වැඩසටහන්වලට මීගමුවේ ධීවර කාන්තාවන් කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නෑ. අපිට අවශ්‍ය වුණේ මීගමුවේ ධීවර කාන්තාවන් එක්ක හැම තරාතිරමකම කාන්තා ප්‍රජාව එකතු කරගෙන හොඳ වැඩක් කරන්නයි. නමුත් ඒ අරමුණ මේකෙන් නම් ඉෂ්ට වෙන්නේ නෑ." යනුවෙන් පැහැදිලි කර දුන්නේ ය.
 
IMG 20241208 WA0002ලලනා ප්‍රතිභා වැඩමුළුවට සහභාගි වූ අර්ජුන රණතුංග සමග දෙපසින් මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා සහ තිලංග සුමතිපාල මහතා
       
"මම දන්නෙ නෑනෙ එහෙම දෙයක්. එතකොට කවුද ඕක කරන්න ඇත්තෙ. පොඩ්ඩක් ඉන්නකෝ මම ඒ ගැන හොයලා බලන්නම්"
       
අමාත්‍යවරයා එසේ කීවද අන්තිමට සිදුවුණේ මීගමු නගර ශාලාවේ සුපුරුදු වැඩමුළුව පැවැත්වීම ය.ඊට හේතුව තිලක් අද ද නොදනී. ඉන් සිත තුළ යම් පසුබෑමක් කලකිරීමක් වැනි හැඟීමක් ඇතිවුවද ඒ සියල්ල අමතක කර පසුව වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය හැම උත්සාහයක්ම කැපකිරීමක්ම කරන්නට තිලක් පසුබට වූයේ නැත.
         
ලලනා ප්‍රතිභා වැඩසටහන්වලට මෙන්ම, දියවර සොබා වනිතා වැඩසටහන්වලට ද මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා සහ රාජපක්ෂ මහත්මියත්, සුමති පුවත්පත් පෞද්ගලික සමාගම ඇතුළු සුමති සමූහ ව්‍යාපාරයෙහි කළමනාකාර අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ජගත් සුමතිපාල මහතා සහ එම මහත්මියත්, තිලංග සුමතිපාල මහතා සහ එම මහත්මියත් සහභාගි වූහ. ඒ කවුරුන් හෝ සහභාගි නොවූයේ නම් ඒ හදිසි වෙනත් වැඩ කටයුත්තක් යෙදී තිබූ අවස්ථාවක පමණි. මීගමුවේ දියවර සොබා වනිතා වැඩමුළුවට ද මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා සහ තිලංග සුමතිපාල මහතා ද සහභාගි වී සිටියහ. වැඩමුළුව ආරම්භ කරන්නට ආසන්න මොහොතේ තිලංග, තිලක් ව කැඳවා රහසින් යමක් කීය. තිලක් එක්වරම වික්ෂිප්ත වූයේ මේ නම් අදහා ගත නොහැකි පුවතක් නිසා ය. අඩු තරමින් ඒ මොහොතේ වැඩසටහනට සහභාගි වී සිටි රාජපක්ෂ අමාත්‍යවරයාවත් මේ ගැන නොදන්නා බව නිසැක ය. තිලංග සැල කළ පරිද්දෙන් ම තිලක් ශාලාවේ පිවිසුම් දොරටුව පිහිටි ආලින්දය වෙත ගියේ ය.
 
IMG 20241208 WA0005අර්ජුන රණතුංග ශාලාව තුළට පිවිසෙයි.
      
 
බෙන්ස් වර්ගයේ මෝටර් රථයකින් බැස ශාලාව දෙසට පිය නගමින් සිටියේ අර්ජුන රණතුංග ය. එවකට අර්ජුන ලෝක ක්‍රිකට් ශූරතාවය ලබා ඒ හැටි කලක් ගත වී තිබුණේ නැත. සැබවින්ම අර්ජුන එකල අපේ රටේ බාල තරුණ මහලු භේදයක් නැතිවම ක්‍රිකට්ලෝලීන්ගේ අසහාය වීරයා විය.එය ජාතික වීරත්වයක් ද විය. එය පසක් වූයේ අර්ජුන ශාලාව තුළට ඇතුල් වන විටම මුළු ශාලාවේම රැස්ව සිටි කාන්තාවන් ස්...ස්...ස්.. යනුවෙන් ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නටවත් අමතක වූවා සේ පළමුව මහත් විස්මයෙනුත්, දෙවනුව ඉහවහා ගිය සතුටකිනුත් ඔද වැඩී ගොස් වේගයෙන් අත්පොළසන් දෙන අයුරු දැකීමෙනි. මේ මොහොතේ තිලක්ට හැඟුණේ ඔහු කලින් සංවිධානය කරන්නට යෙදුණු "වාඩිය" වැඩසටහන ඒ අයුරින්ම මීගමු වෙරළේ සිදුකර එම වැඩසටහනට අර්ජුන කැඳවාගෙන එන්නට ලැබුණේ නම් මීගමු ධීවර වනිතා ප්‍රජාව මුල් කොට සමාජය තුළ මොන තරම් ආකල්පමය පිබිදුමක් ඇති කරන්නට හැකි වන්නේ ද යන්නයි.එහි දී ඔහුට හැකි වූයේ සුසුමක් හෙළා නිහඬවීමට පමණි.
 
තවත් කොටසකින් යළි හමු වෙමු.
 
indu pereraසටහන - ඉන්දු පෙරේරා

තිලක මතක (3) - ලොකු හාමුදුරුවන්ට බියෙන් උස්මුරුත්තාවට එනතුරු දන් වළඳයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (4) - අවංක වීමේ වරදට තිලක් ගේ පියාට දායක සභාවෙන් නින්දා ! (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (5) - තිලක් ගේ ළමා වියේ පාසල් මිතුරා ජවිපෙ සන්නද්ධ නායකයා වෙයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (6) - කෙසෙල් කොළය සහ හොදි බාල්දිය (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (7) - අඩි හතරෙ යෝධයා තැනූ දැවැන්ත වේල්ල (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (8) - පාසල් කට් කර ගොස් පරණ අම්බලමේ දී සමාජ අධ්‍යයනය හදාරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (9) - ජැක්සන් ඇන්තනී සමඟ එකම කරලියේ රංගනයක (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (10) - පිටපත් දහයක් මුද්‍රණය කළ "මවිතෙ" පත්තරේ (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (11) - පත්තර සිහිනය වෙනුවෙන් කුළුඳුල් පෙමට සමු දෙයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (13) - ගජමෑන් ගෙන් ආප්ප කා වෙන පත්තරයකට මාරු වෙයි (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (14) - අතිජාත මිත්‍ර වැසිකිළි පිරිසිදු කරන්නා! (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (15) - යුවතියන් ගේ අඩවියට මඟ පෙන්වූ සුමිතුරා හදිසියේ නික්ම යයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (17) -  තිලක්ට ඔහුවත් නොදත් පෙම්වතියක්? (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (18) - හිමි නමක ද කැටුව පෙම්වතිය බලන්න කතරගම යයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (19) - මංගල රාත්‍රිය තනි යහනක ගත කරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (20) - තිලක් ගේ හදිසි විවාහය වෙනුවෙන් ඥාතීන්ට කළුදොදොල් සංග්‍රහයක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (21) - "හෝම් කමින්" එකට රතු ඉඳි ආප්ප සහභාගීත්වය තුන් දෙනයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (22) : පුටු නැති නිවසේ ගායකයන් එක් වූ පැදුරු සාජ්ජයක් (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (23) : "බාලගිරි හෙට නොවේ අද" අලුත උපන් බිළිඳු පුතු ගැන අලුත් යෝජනාවක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (24) :  අලුත උපන් බිළිඳු පුතු ද කැටුව අවදානම් ගමනක (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (25) : තනිව තේ එකක්වත් හදා ගන්නට නොදත් කාන්තා පුවත්පත් කතුවරයා (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (26) : අකල් මරණවලට හේතුවන්නේ කේන්ද්‍රයේ මාරක අපලවලට වඩා රාජ යෝග ද? බරපතල පැනයක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (27) : සූපවේදී පබිලිස් සහ එලොවින් ආ නූපන් පුංචි අම්මා මාධ්‍යයට ගෙනා හැටි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (28) : උඹේ ඔළුවයි කඳයි බඩයි සේරම නැති වෙන්න පුළුවන් (ඉන්දු පෙරේරා ලියයි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...