"රැජින කර්තෘ කරන ඕනෙ නැති වැඩ හින්දා අපේ සමහර ක්ලයන්ට්ලා එයාට කැමති නෑ. එයා පත්තරේට දාන සමහර ආටිකල් වලින් අපේ ක්ලයන්ට්ලගෙ බිස්නස් වලට කෙළින්ම පහර වදිනවා. අනික එයත් එක්ක අපේ ක්ලයන්ට්ල ගේ බිස්නස් ප්‍රමෝට් වෙන කිසි වැඩක් කරන්න බෑ. ඔය විදිහට ගියොත් එයා හින්දා පත්තරේ දැන්වීම් ආදායමත් දවසින් දවසම අඩු වෙයි."
තිලක් ට එරෙහි ව විවිධ පුද්ගලයන් වෙතින් පාලනාධිකාරියට මෙලෙස පැමිණිලි ද වරින් වර ලැබෙමින් තිබිණ.ඒ එවක සමාජය පුරා ප්‍රචලිත වෙමින් පැවැති සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර ප්‍රචාරක ජාලය මුල් කොට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ආහාර සහ පාන මගින් මිනිසා ගේ සෞඛ්‍යයට සෘජුව සහ වක්‍රව කරනු ලබන මහා විශාල විනාශයට එරෙහිව නොයෙකුත් ලිපි රැජිණ පුවත්පතෙහි පළ කරන්නට තිලක් නොපසුබට වූ බැවිනි.. "උගුලෙන් නැත්නම් හබකින්" යන න්‍යාය ඔස්සේ මොනයම් ක්‍රමයකින් හෝ දැන්වීම් ලබාගන්නට බොහෝ ජන මාධ්‍ය ආයතන එක් පසෙකින් උත්සාහ කරන අතරේ, අනෙක් පසින් මිනිසුන්ගේ උදරයට නොව මොළයට කතා කරන්නට තිලක් දැරූ වෑයම මත මේ දෙපිරිස දෙපැත්තකින් හිඳ කඹ අදින තත්ත්වයට පත්විය. ඒ වන විට පිබිදෙමින් තිබූ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය අනුව මාධ්‍ය මගින් මිනිසුන්ගේ මොළ සේදීමේ කාර්යය වසර ගණනක් තිස්සේ ව්‍යාපාරික ජාලය ජනමාධ්‍යකරුවන් හා එක් ව මොනතරම් අපූරුවට කරගෙන පැමිණ තිබුණේදැයි කිවහොත්, ඒ සඳහා දැක්විය හැකි උදාහරණ ප්‍රමාණය අති විශාල විය. ඒ අතරින් ඉතාමත්ම සරලම උදාහරණයක් ගතහොත් බාල තරුණ මහලු භේදයක් නැතිවම වැළඳ ගෙන සිටින "කඩචෝරු" නමින් හඳුන්වන ව්‍යාපාරිකයන් විසින් හඳුන්වා දුන් ආහාර වර්ග අප රටේ ආහාර සංස්කෘතිය තුළට හීන් සීරුවේ පිවිසුවීම දැක්විය හැකිය. පිටි, රසකාරක ආදී දේවල් එක්කර තෙලෙන් බැද වස, රස බවට පත්කර සැකසූ මෙවැනි ආහාර වර්ග අතීතයේ දරුවන්ට දෙමාපියන් දුන්නේ නැත. ඒ, එමගින් සැලසෙන අයහපත ඔවුන් දැන සිටි නිසාවෙනි. නමුත් දැන් කඩචෝරු නොකන කෙනෙකුත් නැත. නොවිකුණන තැනකුත් නැත. මෙවැනි සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය වීමට මෙරට ජනමාධ්‍ය සෘජුවම වග කිව යුතු බව තිලක් අදටත් තරයේම විශ්වාස කරයි. මේ සත්‍යය පාඨකයාට අවබෝධ කරවන්නට අවංක වුවමනාවක් එවක සිටම තිලක් තුළ තිබිණි. නැතහොත් මාධ්‍යකරුවෙකු ලෙස තමන් පාඨකයන් හට දිවි ඇති තුරු ගෙවා ගත නොහැකි ණයක් ගන්නා ණයකාරයකු වනු ඇතැයි තිලක් තරයේ විශ්වාස කළේය.
මේ තත්ත්වය මත තිලක් ට එරෙහිව එක් පාර්ශවයක් අවි ඔසවද්දී පාලනාධිකාරිය එම අවිවලින් තිලක් ගේ ගෙල සිඳ දැමීමට තරම් අකාරුණික වූයේ නැත. නමුත් තමන් මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමකැයි තිලක් පසුව අවබෝධ කර ගත්තේය. එනිසා නොකැමැත්තෙන් වුවත් තමන්ගේ එම කාර්යය තරමක් අවම කර ගැනීමට තිලක් වග බලාගෙන තිබිණි.නමුත් ඔහු ඒ නව ව්‍යාපාරික රැල්ලට උඩ ගෙඩි නොදීමට තරයේම වග බලා ගත්තේ ය.
ඒ.ඩී.රන්ජිත් කුමාර
"සරසවිය" පුවත්පතේ දීර්ඝ කාලයක් කර්තෘ තනතුර දැරූ ජ්‍යෙෂ්ඨ සිනමා පුවත්පත් කලාවේදියෙකු ව සිටි ඒ.ඩී. රන්ජිත් කුමාර එවකට සරසි පුවත්පතේ කතුවරයා විය. දිනක් රන්ජිත් කුමාර තිලක් ගේ මේසය අසලට පැමිණියේ තවත් අමුත්තකු ද කැටුව ය. තිලක් ඉදිරියේ අමුත්තා සමග වාඩිවූ රන්ජිත් තිලක්ට අමුත්තා හඳුන්වා දුන්නේය.
"තිලක්; මේ මම හොඳට දන්න මල්ලී කෙනෙක්. මෙයත් අපේ ආනන්දෙම තමයි ඉගෙන ගත්තේ. බම්බලපිටියේ වජිරාරාමෙටත් සම්බන්ධයි. අපේ දමයන්තිලත් (ඔහු ගේ බිරිඳ ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරිය ) එක්කල ඒ කාලේ ගුවන් විදුලියේ ළමා පිටියෙත් මෙයා ඉඳලා තියෙනවා. මෙයා ඕස්ට්‍රේලියාවේ ඉඳලා මේ දවස්වල නිවාඩුවකට ඇවිත් ඉන්නේ. මෙයාට ඔයාගේ පත්තරෙන් මොකක්ද කරගන්න ඕනෙලු"
රන්ජිත් පැවසුවේ අමුත්තා දෙස බලමින් සිනාසෙමිනි.
"මොකක්ද මගෙන් කෙරෙන්න ඕනේ?" තිලක් ද පෙරළා සුහද සිනාවක් පාමින් ඇසීය.
"අයියේ මම මෙල්බර්න් කිට්ටුව ඉන්නේ. එහෙ ඉන්නවා වජිරාරාමෙටත් සම්බන්ධ හාමුදුරු නමක් සෝම කියලා. ළඟදි ලංකාවට වඩිනවා කිව්වා මොනවා හරි මේ හාමුදුරුවෝ ගැන ලියන්න බැරිද?"
ඔහු තිලක්ගෙන් ඇසීය. මෙම හාමුදුරුවන් පිළිබඳව පුවත්පතට ලිපියක් ලියන්නට තරම් තිබෙන විශේෂත්වය කුමක්දැයි තිලක් දැන සිටියේ නැත. ඔහු පවසමින් සිටි විස්තර තිලක් වුවමනාවෙන් යුතුව අසා සිටියේය.
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි
"ඒ හාමුදුරුවෝ බණ කියන්නේ මිනිස්සුන්ගෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි. හරිම නිවැරදි බුදු දහම දේශනා කරනවා. මිනිස්සුන්ගේ මිථ්‍යා ඇදහිලි විශ්වාස ගැන ඒ හාමුදුරුවෝ බොහොම තදින් විවේචනය කරන හින්දා ඒ හාමුදුරුවොත් එක්ක දැන් එහේ හුඟක් මිනිස්සු තරහයි.පහුගිය දවසක සායි බාබා අදහන මිනිස්සුන්ට උපාසක චණ්ඩාලයෝ කිව්වා කියලා ලොකු කේස් එකක් ගියා. හාමුදුරුවෝ ඒ කිව්වේ බුදු බණේ උපාසක චණ්ඩාල කියලා සූත්‍රයක් තියන හින්දා. දැන් ඒ මිනිස්සු හාමුදුරුවොත් එක්ක තරහ වෙලා වෙන පන්සලකට යනවා. සායි බාබා විතරක් නෙමෙයි, එක එක දෙවිවරු අදහන හැමෝම සෝම හාමුදුරුවොත් එක්ක අමනාපයි. ඒ හාමුදුරුවෝ ඒවට දොස් කියන නිසා.එහේ ඉන්න සල්ලිකාරයෝ ලොකු ලොකු මිනිස්සු සේරම දැන් සෝම හාමුදුරුවන්ගෙන් අයින් වෙලා අර පන්සලට සෙට් වෙලා. ඒකට දැන් ඒ පැත්තෙ මිනිස්සු කියන්නේ තත්ත්වාරාමය කියලා. ජර්මන් ටෙක් එකේ ඉගෙන ගන්න ළමයිනුයි අනික් තරුණ ළමයි හැමෝමයි සෝම හාමුදුරුවන්ගේ පන්සලට එකතු වෙලා නිසා මිනිස්සු ඒ පන්සලට ටෙක්කාරාමය කියලා නම දාලා. දැන් සමහරු ඒ හාමුදුරුවන්ට කියන්නේ ටෙක්කාරාමෙ යකාගෙ හාමුදුරුවෝ කියලා"
ඔහු දිගින් දිගටම විස්තර කළේය. ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳව තිලක් ප්‍රථම වතාවට දැන ගත්තේ ඒ අවස්ථාවේදී ය. තිලක් තුළ සෝම හිමියන් පිළිබඳව මෙම විස්තර තුළින් පැහැදීමක් ඇතිවෙමින් තිබිණි.
"හාමුදුරුවෝ ලංකාවට වැඩියම මම අයියට කියන්නම්. පුළුවන් නම් ගිහින් හම්බවෙන්නකෝ"
ඔහු එදා සමුගත්තේ එලෙස පවසමිනි.
ඒ, 1997 වසර ය. දිනක් ඒ තැනැත්තාගෙන් තිලක්ට දුරකතන ඇමතුමක් ලැබිණි.
"අයියේ; අර කියපු සෝම හාමුදුරුවෝ ලංකාවට ඇවිත් ඉන්නේ. මහරගම ධර්මායතනයේ තමයි හාමුදුරුවෝ ඉන්නේ. අයියාට පුළුවන් නේද ගිහින් හම්බවෙන්න"
එසේ පැවසූ ඔහු මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි දුරකථන අංකය ද තිලක්ට ලබා දුන්නේය. නමුත් විවිධ වැඩ කටයුතු හේතුවෙන් එම ගමන තිලක් අතින් අතපසු විය.
සුමේධා නවරත්න
මේ අතර එම වසරේ වෙසක් උත්සවය නිමිති කරගෙන අපේ රටේ සායි බැතිමතුන් පිරිසක් ඉන්දියාවේ පුට්ටපාර්තී නම් සායි ආශ්‍රමයට ගොස් සිල් සමාදන් වූ පුවතක් මාධ්‍ය මගින් ප්‍රචාරය විණි. මේ සම්බන්ධයෙන් ලිපියක් ලියන්නට සිතූ තිලක් ඒ සඳහා සෝම හිමියන්ගෙන් ද අදහස් ටිකක් ලබාගන්නට තීරණය කොට ධර්මායතනයට ගොස් මේ කාර්යය කරගෙන එන ලෙස පැවරුවේ එවකට නවක මාධ්‍යවේදනියක සිටි සුමේධා නවරත්නට ය.පසුව ලේක් හවුසියට සම්බන්ධ වී මාධ්‍යවේදිනියක ලෙස පුළුල් වැඩ කොටසක් කළ ඇය මේ වන විට ජන මාධ්‍ය හා මනෝ උපදේශිකාවක ලෙස කටයුතු කරන්නී ය. සෝම හිමියන් ඇතුළු තවත් කිහිප දෙනෙකුගේම අදහස් සම්පිණ්ඩනය කොට සුමේධා නවරත්න ලියූ එම ලිපිය "බුදුන් ගැන නොතකා බජන් ගී ගයන සායි උපාසකම්මලා" යන ශීර්ෂයෙන් යුතුව ඊට පසු සතියේම රැජිණ පුවත්පතේ පළ කෙරිණි.
මෙම ලිපිය පළවූ පසු එක් කාන්තාවක් දුරකතනය හරහා තිලක් ඇමතුවාය. ඇය එවකට මහාධිකරණ විනිසුරු වරියකි.
ඔබතුමා අපේ ස්වාමි( සායි බාබා) ගැන ලිපියක් රැජිණ පත්තරේ පළ කරලා තිබුණා. ඒක දැකලයි මම කතා කළේ" ඇය සන්සුන් හඬින් කීවා ය.
"ඔව්, කියන්න"
රූපවාහිනියෙන් පවුල්වලට වෙන බලපෑම
" ඔබතුමා ඒ දක්වලා තිබුණු කරුණු ඉතාමත්ම වැරදියි. මොකද එදා මමත් ස්වාමි ගේ ආශ්‍රමයේ සිල් සමාදන් වුණා. එතුමා එදා තමන්ගේ බැතිමතුන්ට ධර්ම දේශනා පවා කළා. ස්වාමි ගැන හරිහැටි නොදැන ඔබතුමාලා ඔය විදිහේ ප්‍රකාශ පත්තරවල පළ කරන්න එපා. ඒක බොහොම වැරදි වැඩක්"
"හරි මම සායි බාබා තුමා ගැන දන්නේ නෑ කියමුකෝ. මොකක්ද එතුමා එදා කළ ධර්ම දේශනාව" තිලක් පෙරළා ඇසීය.
"ස්වාමි දේශනා කළේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය"
"මොකක්ද මාතෘකාව?"
"ආර්ය අෂ්ටාංගික මාර්ගය"
"එතුමා ඒ ගැන හොඳට දන්නවද?"
තිලක් සේනාසිංහ
"ඇයි දන්නේ නැත්තේ? එතුමා කිසිම වැරදීමකින් තොරව හරියටම දේශනා කළා" කී ඇය පසුව කියා සිටියේ සායි බාබා එම දෙසුම කළේ කොළයක් බලාගෙන බව ය.
තිලක් ගේ මුහුණට සිනාවක් නැගිණි. මෙය දුරකථනයෙන් හුවමාරු වූ දෙබසක් නිසා ඇයට තිලක්ගේ මුහුණ දකින්නට නොලැබුණේ වාසනාවට ය.
"ඉතින් නෝනා; කොළයක් බලාගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන දේශනාවක් අහන්න ඉන්දියාවට ගිය එක අපරාධයක්නේ. ලංකාවේ හුඟක් හාමුදුරුවරු ඔය ගැන කට පාඩමෙන් කියන්න දන්නවනේ. ගෙදර හිටිය නම් ඔබතුමියටත් පොතක් බලාගෙන ඔය දේශනාව ඉගෙන ගන්න තිබුණා"
ඇය මෙහිදී තිලක් කෙරෙහි උරණ වන්නට ඇති බව නිසැක මුත් ඒ බවක් හැඟවූයේ නැත. නමුත් සෝම හාමුදුරුවන්ටත් වචනයකින් දෙකකින් දොස් නගා සිය අමනාප බව නොපෙන්වන්නට ප්‍රවේසම් වෙමින් ඇය දුරකථනය ඇමතුම විසන්ධි කළාය.
මිලිනා සුමතිපාල මහත්මිය
දිනක් සුමති සමූහ ව්‍යාපාරයෙහි සභාපතිනී මිලිනා සුමතිපාල මහත්මියගේ රියදුරු හදිසියේම තිලක්ට හමු විය.
"මම මේ තිලක් මහත්තයාව හම්බ වෙන්නමයි හිටියේ කාරණයක් ගැන කියන්න"
ඔහු එලෙස පැවසූ විට තිලක් ප්‍රශ්නාර්ථයෙන් ඔහු දෙස බැලීය.
"ඇයි?"
"තිලක් මහත්තයා මේ ළඟදි දවසක සායි බාබා ගැන මොනවා හරි රැජිණ පත්තරේ දැම්මද?"
"ඔව්, ඇයි?"
පුවත්පත් මුද්‍රණය
"මෙහෙම කිව්වට තරහ වෙන්න එපා තිලක් මහත්තයා. අපේ ලොකු මැඩම්ට ගොඩක් සමාජ සම්බන්ධතා තියෙනවනේ. අපේ ලොකු මැඩම් එක්කත් ඔය සායි බාබා අදහන අය සම්බන්ධයි. ඔය පුට්ට පාර්වතී ගිහින් ආපු කට්ටියක් මැඩම්ට දොස් කියලා තිබුණා මොනවද ඔයගොල්ලන්ගේ පත්තරේ ඔය දාන්නේ? කියලා. තිලක් මහත්තයා කෝකටත් ටිකක් කල්පනාවෙන් ඉන්න"
ඔහු පැවසුවේ තිලක් කෙරෙහි පැවති සැබෑම හිතවත්කමට ය.ඒ අනුව මෙය තමන්ගේ තනතුරට සේම එම ආයතනයේ සේවයට ද නැවතුම් ලකුණක් තැබෙන අවස්ථාවක් බව ඔහුට වැටහිණ.එහෙත්; සුමති සමූහ ව්‍යාපාරයෙහි සභාපතිනී මිලිනා සුමතිපාල මහත්මිය හෝ ඇගේ පාර්ශවයේ කිසිවකුත් ඒ සම්බන්ධයෙන් තිලක් ගෙන් එක වදනක්වත් විමසා සිටියේ නැත. එය ඔහු ගේ සිත තුළ මහත් විස්මයක් සේම මිලිනා සුමතිපාල මහත්මිය ගැන ඔහු ගේ සිතේ විශාල පැහැදීමක් ඇති කිරීමට හේතු විය.නමුදු ඒ වන විට පවත්නා සමාජ ආර්ථික වාතාවරණය යටතේ තම සිතට එකඟව පත්තර කලාවේ යෙදීම මරණ තුනක් ඇති මිනිසකු ගේ පැණි කෑමක් බව තිලක් ද කෙමෙන් වටහා ගනිමින් සිටියේ ය.
තවත් කොටසකින් යළි හමු වෙමු.
සටහන - ඉන්දු පෙරේරා